අනිදදා (27) පාර්ලිමේන්තුවේ සිදු වන සුවිශේෂී දේ - ද්විත්ව පුරවැසිභාවය ගැන විශේෂ තීරණයක්..!

Parliament of Sri Lanka Sri Lanka Cabinet Sri Lankan political crisis
By Sewvandhi Jul 24, 2022 02:22 PM GMT
Report

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් සහ දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සාධනීය වගන්ති ඇතුළත් කරමින් සැකසුණු විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අනිද්දා( 27) බදාදා ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මේ අනුව එම පනත් කෙටුම්පත පළමු වර කියවීමෙන් සතියකට පසු ( ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් නොවුණ හොත්) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව හැකියාව පවතින්නේය. විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද පසුගියදා හිමිවිය.

ඉන් අනතුරුව පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් පසුගිය ජුනි මස 24 වෙනිදා ප්‍රකාශයට පත් කෙරිණ. ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට පාලන කටයුතු සඳහා සම්බන්ධවීමට ඇති හැකියාව මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අවහිර කරනු ලැබ තිබීම විශේෂත්වයකි. එසේම වෙනත් රටක පුරවැසියකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියකු මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම සිදු නොවිය යුත්තක් බවද එම සංශෝධනයේ දැක්වේ.

ස්වකීය අත්සන මගින් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඉල්ලා අස්වුවහොත් හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවුණහොත් අග්‍රාමාත්‍යවරයා සිය ධුරය දැරීමට නුසුදුසු බවද එහි දැක්වෙයි. යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය සක්‍රියව පවතින්නේද එතෙක් අග්‍රාමාත්‍යවරයා සිය ධුරය දරන බවද විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වේ.

මෙම පනත ක්‍රියාත්මක වන දිනයෙන් ආරම්භ වන සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත කාල පරිච්ඡේදයේ අග්‍රාමාත්‍යවරයා කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය අහිමි වී ඇති බවට ජනාධිපතිවරයා ගේ මතය වන්නේ නම් අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කළ හැකි බවද එහි දැක්වේ. ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් නොවිමසා යම් පත් කිරීමක් හෝ විෂය සහ කාර්ය පැවරීමක් හෝ වෙනස් කිරීමක් නොකළ යුතු බවද සඳහන් වේ.

අමාත්‍යවරයකු අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව ජනාධිපතිවරයා ගේ අත්සන යටතේ යවනු ලබන ලිපියක් මඟින් ඉවත් කළ හැකි බවත් ඕනෑම අමාත්‍යවරයකුට ජනාධිපතිවරයාට යවන සිය අත්සන සහිත ලිපියක් මගින් ධූරයෙන් ඉල්ලා අස් විය හැකි බවත් සඳහන් වේ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන්නේ නම් ඔහුට හෝ ඇයට කැබිනට් කැබිනට් නොවන හෝ නියෝජ්‍ය අමාත්‍ය ධූරය අහිමි වන බව ද ව්‍යවස්ථා සංශෝධනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ සම්බන්ධයෙන් අප ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බවයි. ඒ අනුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now