පොලීසියෙන් ජනතාවට දැනුම්දීමක්

By Sithumi May 02, 2023 05:45 PM GMT
Report

කොළඹ වරාය හරහා ඉදිකෙරෙමින් පවතින අධිවේගී මාර්ගයේ ගබඩාවකින් දේපළ සොරකම් කිරීමට උත්සාහ කළ පිරිසකට එහි පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ඊයේ (01) වෙඩිතැබීමක් සිදුකර තිබුණා.  

අවසරයකින් තොරව වරාය පරිශ්‍රය වෙත ඇතුළුවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි පොලීසිය දැනුම්දෙන්නේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා, "බ්ලූමැන්ඩල් මාර්ගයේ වරාය වටා ඇති වැටවල් හානි කරලා ඒ අවට නිවාසවල සිටින පුද්ගලයින් වරාය තුළට ඇතුළුවෙන බවට තොරතුරු තිබෙනවා."  

 "ඒ හරහා තමයි ඔවුන් වරාය පරිශ්‍රයේ ඇති යකඩ සහ උපකරණ සොරකම් කරන්න කටයුතු කරලා තියෙන්නේ." "බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අවසර නැතුව වරායට ඇතුළුවෙන්න එපා. ඒක දඬුවම් ලැබිය හැකි වරදක්.".

ඒ අනුව ඊයේ රාත්‍රියේ සිදුවූ එම සිද්ධියෙන් කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය සඳහන් කළේය. කොළඹ ඉඟුරුකඩේ හන්දිය අසලින් කොළඹ වරාය හරහා ඉදිකෙරෙමින් පවතින අධිවේගී මාර්ගයේ ගබඩාවක් සහිත ප්‍රදේශයකට පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ එහි වැටකින් රහසිගතව ඇතුළුවී තිබුණි.  

ඒ අතරතුර ඔවුන්ට හිතවත් තවත් පිරිසක් අදාළ වැට ළඟ සිට ඇති බව පොලීසිය සඳහන් කළේය. කෙසේවෙතත් අදාළ ස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පෞද්ගලික ආරක්ෂක සමාගමකට අයත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු විසින් ගබඩා භූමියට පැමිණි පුද්ගලයන් දෙදෙනාව අල්ලාගෙන තිබුණි. එම අවස්ථාවේ ඔවුන් දෙදෙනාගේ සහායට පැමිණ සිටි තිදෙනෙකුගෙන් යුත් පිරිස එතැනට පැමිණ ඇත්තේ තවත් කාන්තාවන් සිව්දෙනෙකු ද සමගිනි. අනතුරුව ඔවුන් අදාළ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනාට පහරදී ඔවුන් සතුවූ රිපිටර් වර්ගයේ ගිනි අවි දෙක පැහැරගැනීමට උත්සහා කළ බව පැවසෙයි.

 එහිදී සිදුවූ වෙඩිතැබීමෙන් පළමුව එතැනට පැමිණි පුද්ගලයන් දෙදෙනාගේ පපු ප්‍රදේශයට හා උදර ප්‍රදේශයට වෙඩිවැදී තිබේ. ඉන් එක් අයෙක් 18 හැවිරිදි වියෙහි පසුවන අතර අනෙක් පුද්ගලයා 43 හැවිදිරි වියෙහි පසුවන පුද්ගලයෙකි. ඔවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බව පොලීසිය සඳහන් කරයි.

 එමෙන්ම කාන්තාවන් සිව්දෙනා ඇතුළු අනෙක් පුද්ගලයන් 7ත් දෙනාට ද මෙහිදී සිදුවූ පොරබැදීම්වලින් තුවාල සිදුවී තිබුණි. අනතුරුව පිරිස ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් කාන්තාවක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බව පොලීසිය පැවසීය. මෙම තුවාල ලැබූ පිරිස සමීපතම ඥාතීන් වන අතර ඔවුන් බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.