අලුතින් උපදින දරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් අංකයක්..!නවතම වැඩ පිළිවෙල මෙන්න..

Sri Lanka Birthday
By Sewvandhi Aug 01, 2022 12:03 PM GMT
Report

අලුතින් උපදින දරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් අංකයක් සහිත උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ නියමු වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයකදී අද සිට ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙම නියමු වැඩසටහන් ගම්පහ, දෙහිවල, හඟුරන්කෙත, කුරුණෑගල, රත්නපුර සහ තමන්කඩුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ක්‍රියාත්මක කෙරේ.

මෙහිදී රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන උප්පැන්න සහතිකයට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කිරීම සිදුකෙරේ. එය මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ අදාළ දෙපාර්තමේන්තු දෙක අතර තොරතුරු හුවමාරු කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මේ අනුව එලෙස උප්පැන්න සහතිකය ලබාගත් සියලුම පුරවැසියන් වයස 15ට එළැඹීමෙන් පසුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙතින් සිදුකරනු ලබන ඉල්ලීමකදී අදාළ අංකය සහිත ජාතික හැඳුනුම්පත ලබාගැනීමට හැකියාව පවතී.

මෙම ක්‍රමවේදය හරහා උපතේ සිට සියලු කාර්යයන් සඳහා එකම අනන්‍යතා අංකයක් භාවිත කිරීමට සියලු පුද්ගලයින්ට අවස්ථාව හිමිවේ. ඒ අනුව අධ්‍යාපන, සෞඛ්‍ය, මූල්‍යමය සහ සමාජමය තොරතුරු ඉතා පහසුවෙන් ගබඩා කරගැනීමට රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට හැකියාව ලැබේ.

පුද්ගලයින්ට අදාළ තොරතුරු එකම අංකයක් යටතේ ගොනුගත කර තිබීම හේතුවෙන් එම ආයතන මගින් සේවා ලබාගැනීමේදී මහජනතාවටද පහසු වනු ඇති. 2021 වසරේ දෙසැම්බර් මස 14 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් එළැඹුණු තීරණයකට අනුව මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now