වතු ජනතාවට ස්ථිර ලිපින ඉල්ලයි.

Sri Lanka
By Sithumi Mar 31, 2023 03:51 PM GMT
Report

මෙරට වතු ජනතාව සඳහා ස්ථිර ලියාපදිංචි තැපැල් ලිපින ලබාදීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.

මාවතගම, මුවන්කන්ද වතුයායේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා, රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, නීතිපතිවරයා ඇතුළු 18 දෙනෙකු නම්කර ඇති බව වාර්තා වනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ මෙරට වතු ජනයාගෙන් බහුතරයක් පෞද්ගලික සමාගම්වලට අයත් ඉඩම්වල පදිංචි වී සිටීම හේතුවෙන් ඔවුන්ට ඉඩම් හිමිකාරිත්වය අහිමි වී ඇති බවය.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු 277ක ලක්ෂ 4ක පමණ පිරිසක් වාසය කරන බවත් ඒ කිසිවකුට හෝ පෞද්ගලික ලියාපදිංචි ලිපිනයන් නොමැති බවත් පෙත්සමේ සඳහන් වේ.

මේ හේතුවෙන් ඡන්දය ලියාපදිංචි කිරීම, ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම, විවාහ ලියාපදිංචි කිරීම, බැංකු ගිණුම් විවෘත කිරීම, මරණ සහතික ලබාගැනීම, පාසැල්වලට ළමුන් ඇතුළු කිරීම, සමෘද්ධි වැනි සුබසාධන දීමනා ලබාගැනීම වැනි කටයුතු ඉටුකර ගැනීමේදී එම ජනයාට දැඩි අසීරුතාවයකට මුහුණ දීමට සිදුවන බව පෙත්සම්කරු පවසයි.

එම තත්ත්වය තුළ වතු ජනයාගේ නිවෙස්වලට ලියාපදිංචි තැපැල් ලිපිනයන් ලබානොදීම තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now