පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධව අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ගනී..

Parliament of Sri Lanka Sri Lanka Madras High Court
By Aruna Feb 28, 2023 11:17 PM GMT
Report

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ ප්‍රතිපාදන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අදාළ වන බවත් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ඔවුන් නීතියෙන් බැඳී සිටින බවත් අභියාචනාධිකරණය විසින් අද (28) තීන්දු කළා.

ඒ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් මුදාහරින ලෙස තොරතුරු කොමිසම විසින් දුන් තීරණයක් තහවුරු කරමින් සම්පත් අබේකෝන් සහ පී.කුමාරන් රත්නම් යන විනිසුරුවන්ගෙන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කිරීමත් සමගයි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් ප්‍රකාශ කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යනු මහජනතාව විසින් පත් කරන ලද පිරිසක් බවයි.

එම පිරිස මහජනතාව විසින් නඩත්තු කරන අතර ඔවුන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත් කිරීමට නීතියෙන් බැඳී සිටින බවත් තීන්දුවේ සඳහන් කර තිබෙනවා.

එසේ වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත් නොකිරීම නීතියෙන් වරදක් යැයි පෙන්වා දෙන විනිසුරුවරයා මෙම චෝදනාවට වරදකරු වන පුද්ගලයෙකුට අවුරුද්දක් නොඉක්මන සිර දඬුවමක් හෝ රුපියල් දහසක් නොඉක්මවන දඩයක් හෝ එම දඬුවම් දෙක ම වුව ද නියම කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට හැකියාව තිබෙන බවත් පෙන්වා දී තිබෙනවා.

2018 වසරේ ජුනි මස 21 වනදා මාධ්‍යවේදී චාමර සම්පත් විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත්කොට තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් තමන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලීමක් කර තිබුණා.

එහෙත් එම ඉල්ලීම පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව මාධ්‍යවේදී චාමර සම්පත් විසින් තොරතුරු කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිල්ල විභාග කළ තොරතුරු කොමිසම පැමිණිලිකරු ඉල්ලා සිටින තොරතුරු මුදාහරිණ ලෙස පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියාට නියෝග කර තිබුණා.

එම තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

දීර්ඝ කරුණු විභාගයකින් අනුව තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, මෙම පෙත්සම තුළ අන්තර්ගත කරුණු පදනම් විරහිත බවයි.

ඒ අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ මුදාහරිණ ලෙස තොරතුරු කොමිසම විසින් 2021 වසරේ පෙබරවාරි මස 02 වන දා දුන් නියෝගය තහවුරු කරමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ අභියාචනය ප්‍රතික්ෂේප කරන බවත් තීන්දුවේ සඳහන් කොට තිබෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now