ජනපති තෝරන සටනේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ...සජීවී විකාශනය මෙතනින් බලන්න.(LIVE/UPDATE)

Parliament of Sri Lanka Anura Dissanayake Dullas Alahapperuma Ranil Wickremesinghe Sajith Premadasa
By Aruna Jul 20, 2022 04:24 AM GMT
Report

UPDATE

ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීමට අදාලව ඡන්දය ප්‍රකාශ කිරීම මේ වන විට අවසන්වී තිබෙනවා. ඒ අනුව සභා ගර්භය මැද සිට මේ වන විට ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

සජීවී විකාශනය පහතින් නරඹන්න.


 ..............................

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට අදාළව පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා, කතානායකවරයා මෙන්ම අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ඩලස් අලහප්පෙරුම ඇතුළු 70 දෙනෙකුට වැඩි පිරිසක් මේ වනවිට (20) ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

..................................

පළමු ඡන්දය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලබා දෙනු ලැබුවා.

දෙවන ඡන්දය වැඩබලන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් අතර තුන්වෙනි ඡන්දය මහින්ද අමරවීර මහතා ලබා දුන්නේ ය.

මේ වන විට අනෙකුත් මන්ත්‍රීවරුන් විසින් සිය ඡන්දය ප්‍රකාශ කරමින් පවතී.

............................

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සදහා ඡන්ද වීමසීම අද (20) පෙරවරු 10.00ට සිදු කෙරෙනවා.

ඒ සදහා ඊයේ පාර්ලිමේන්තුවේ දී නාමයෝජනා කැඳවනු ලැබුවා.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ නම් එහි දී යෝජනා වු අතර, පාර්ලිමේන්තු මහලේකම්වරයා එම යෝජනා පිළිගනු ලැබුවා.

අපේක්ෂකයන් තුන් දෙනෙකු ඉදිරිපත් ව ඇති හෙයින් රහස් ජන්ද වීමසීමක් අද පැවැත්වෙන අතර, තේරීම්භාර නිලධාරියා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මහලේකම්වරයා යි.

ඡන්දය ආරම්භ කිරීමට පෙර තේරීම්භාර නිලධාරියා විසින් හිස් ඡන්ද පෙට්ටිය මන්ති්‍රීවරුන්ට පෙන්වීමෙන් පසු මුද්‍රා තැබීමට නියමිත යි.

මෙම ඡන්ද විමසීමේ දී කථානායකවරයාටද සිය ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමිවනවා.

ඡන්දය ආරම්භ වු පසු පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් කථානයකවරයා ඇතුළු එක් එක් මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රකාශ කරන අතර, අදාළ මන්ති්‍රීවරයා තේරීම්භාර නිලධාරිවරයා හෙවත් පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ මේසය වෙත ගොස් ජන්ද පත්‍රිකාව ලබාගත යුතු යි.

ඉන්පසු ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි මන්ත්‍රීවරයා ඉදිරියේදීම පාර්ලිමේන්තු මහලේකම්වරයා ජන්ද පත්‍රිකාවේ පසුපස තම මුලකුරු සමග කෙටි අත්සන යෙදීම සිදු කරනවා.

අනතුරුව ජන්ද පත්‍රිකාව ලබාගත් මන්ති්‍රීවරයා පාර්ලිමේන්තු සහා ගර්භයේ මැද සකස් කර ඇති කුටියට ගොස් ජන්ද පත්‍රිකාව සලකුණු කොට තේරීම්භාර නිළධාරියාගේ කෙටි අත්සන පෙනෙන පරිදි නවා ඡන්ද පෙට්ටියට දැමිය යුතුයි.

ජන්දය ප්‍රකාශ කිරීමේ දී එක් මන්ත්‍රීවරයෙකුට එක් ජන්දයක් පමණක් හිමිවන අතර ජන්දය දෙන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් ඇති කොටුවෙහි එක යන ඉලක්කම යොදා ජන්දය සලකුණු කළ යුතු වනවා.

අපේක්ෂකයන් කිහිප දෙනෙකු සිටින විට මනාප සලකුණු කිරීමටද අවස්ථාව පවතින අතර ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් ගණන අනුව අනෙක් ජන්ද අපේක්ෂකයන්ගේ නම් ඉදිරියෙන් ඇති කොටු 2, 3 ආදී ලෙස මනාප අනුපිළිවෙල අනුව ලකුණු කිරීමට අවස්ථාව හිමිවනවා.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් සටහන් කරනු ලැබූ මනාප ගණන් කරන අතර, ඡන්දය ගණන් කරන ස්ථානයේ අපේක්ෂකයාට හෝ ඔහුගේ නියෝජිත මන්ත්‍රීවරයෙකුට රැඳී සිටිය හැකියි.

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි සංඛ්‍යාවක් කිසියම් අපේක්ෂකයෙකු ලබාගෙන ඇත්නම් ඔහු ජනාධිපති ධුරයට තෝරා පත් කරගත් බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් නිවේදනය කරනු ඇති.

වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයෙකු ලබාගෙන නොමැතිනම් අඩුම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයා ඉවත් කර ඔහුගේ ඡන්ද පත්‍රිකාවල දෙවන මනාප සළකුණු කර ඇත්නම් එය, අනෙක් අපේක්ෂකයන්ට එක් කිරීම සිදුකරනු ලබනවා.

ඡන්දය සමාන වුවහොත් තේරීම් භාර නිලධාරියා වන පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ අභිමතය පරිදි කුසපත් ඇදීමක් සිදු කෙරෙනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now