පාර්ලිමේන්තු අවට හදිසියේම ආරක්ෂාව තරකරයි..

Police spokesman Parliament of Sri Lanka Sri Lanka
By Aruna Jul 18, 2022 04:03 AM GMT
Report

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කර ඇති අතර, පිවිසුම් මාර්ග සියල්ල මාර්ග බාධක යොදා අවහිර කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුව හෙට (19) පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත පසුබිමකයි.

දැනට රට තුළ මතුව ඇති දේශපාලන අර්බුදකාරී වාතාවරණය මත අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීම හෙට (19) දිනයේ දී සිදුකිරීමට නියමිතයි.

මීට අදාළ ඡන්ද විමසීම අනිද්දා (20) දිනයේ දී පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් ලෙස පැවැත්වෙනු ඇති.

මේ වන විටත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පස් දෙනෙකු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේ ඔවුන්ගේ නාම යෝජනා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදීමට නියමිත අතර අනතුරුව ඔහු විසින් එය පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත්කරනු ඇති.

ඡන්ද විමසීමේ දී එය පැවැත්වෙන දින ඡන්දය භාවිත කරනු ලබන මන්ත්‍රී සංඛ්‍යාවෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රතිශතයක් ලබාගන්නා අපේක්ෂකයා නව ජනාධිපතිවරයා ලෙස තේරීපත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ එක් එක් දේශපාලන පක්ෂ මේ වන විටත් ඔවුන් සහය ලබාදෙන අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now