"PAD-MAN"..සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිගෙන් නවතම වැඩක් - මිලත් වෙනස් වන ලකුණු..

Keheliya Rambukwella Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Sep 20, 2022 08:38 AM GMT
Report

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ‘PAD-MAN’ නමින් ප්‍රචලිත ඉන්දීය ව්‍යවසායක අරුණාචලම් මුරුගනාදන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ප්‍රේමනාත් දොළවත්ත, රෝහිණී කවිරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් අද පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට බලපෑ දැවෙන ප්‍රශ්නයකට විසඳුමක් ලෙස මෙම ව්‍යාපෘතිය දකින බවයි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ

“ශ්‍රී ලංකාව තුළ සනීපාරක්ෂක පෑඩ් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපි ‘PAD-MAN’ සමාගම සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. අපගේ සංස්කෘතික හා සමාජීය සීමා කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ විට මහජනතාව අතර එය පුළුල් ලෙස කතාබහට ලක් නො වුණත්, මෙය ශ්‍රී ලංකාවේ තරුණියන් සහ තරුණියන් මුහුණ දෙන ප්‍රශ්නයක් බව මම ද පිළිගන්නවා,” යනුවෙන්.

මේ අතර පසුගියදා ජාතික පුවත්පතක පළ වූ වාර්තාවක් උපුටා දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දොලවත්ත විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ගැහැනු ළමයින් මුහුණ දෙන සෞඛ්‍ය ගැටලු විසඳීමට අවශ්‍ය මෙම සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට නො හැකි නිසා ඔවුන් පාසල් යාමෙන් වැළකී සිටීම කණගාටුවට කරුණක් බවයි.

එම ප්‍රශ්නයට තවත් කරුණු එක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පැවසුවේ සනීපාරක්ෂක තුවා සඳහා 42%ක බදු අය කෙරෙන බවත් මේ ආකාරයෙන් බදු අධික ලෙස ඉහළ යාමෙන් සනීපාරක්ෂක ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති බවත්, එනිසාවෙන් ඒවා සුඛෝපභෝගී භාණ්ඩ තත්ත්වයට වැටී ඇති බවයි.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW