ඔමික්‍රෝන් ගැන වෛද්‍යවරුන් භයානක අනතුරු ඇඟවීම් සිදුකරද්දී මෙරටින් සිදු වූ දේ

Sri lanka covid 19 Omicron
By Sithumi Jan 27, 2022 03:46 PM GMT
Report

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිරෝධායන කාලසීමාව සම්බන්ධයෙන් නව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊට අනුව කොවිඩ් 19 ආසාදිතයෙකු නිවෙස් නිරෝධායනයේ සිටින්නේ නම් පැය 48ක කාලයක් කිසිදු ඖෂධයක් නොගෙන උණ රෝගී තත්වයක් වාර්තා නොවන්නේ නම් ඔහුට හෝ ඇයට දින 7ක කාලයකින් පසුව නිවෙස් නිරෝධායනයෙන් ඉවත්විය හැකි වනවා.

එමෙන්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ද මෙම ක්‍රියාදාමය අනුකූල වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ. පී සී ආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදු කළ දින සිට දින 7ක කාලසීමාවක් තුල අවසාන පැය 48 තුලදී කිසිදු ඖෂධයක් භාවිත නොකර උණ රෝගී තත්වයක් හෝ කොවිඩ් රෝගී ලක්ෂණයක් පෙන්නුම් නොකරන්නේ නම් එම ආසාදිතයින් රෝහල්වලින් නිදහස් කළ හැකි වනවා.

එමෙන්ම පූර්ණ එන්නත්කරණයට ලක් වූ කොවිඩ් 19 ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි නම්, නිරෝධායනයට යොමු වීම අවශ්‍ය නොවන බව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවෙන් නිවේදනය කරනවා. ඒ අනුව ඔවුන්ට රැකියා සඳහා යාමට ද අවසර හිමිවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් අනතුරුව යළිත් වරක් මෙරටින් දෛනික කොරෝනා ආසාදිතයින් නවසියයේ සීමාව ඉක්මවා ඊයේ වාර්තා වුණා. ඒ අනුව ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 927ක්. මේ අතර, කොරෝනා රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර ඒකකවල ඇති ඇඳන් 70වෙන් 63කම කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මේ අතර, කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක කොරෝනා පරීක්ෂණ කට්ටල අවසන් වීම හේතුවෙන් ගැටලු මතුව ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙනවා. මේ අතර, විෂබීජ නාශක දියරවල පවතින ගැටලු කොරෝනා ව්‍යාප්තියට හේතු වී ඇති බව එම ක්ෂේත්‍රයේ නිරත වන්නන් පෙන්වා දෙනවා. එතනෝල් වෙනුවට මෙතනෝල් නැමැති රසායනිකය වර්තමානයේ බොහෝ විෂබීජ නාශක දියර සඳහා යොදා ගැනීම ඊට හේතුව බව සඳහන්.

ඔවුන් සඳහන් කළේ මෙතනෝල් යොදා ගැනීම නිසා ඒවා භාවිත කිරීමේ දී දෑත්වල සමට ද හානි සිදු වන බව යි. මේ අතර ඔමික්‍රොන් ප්‍රභේදය වෙනුවෙන් නව බූස්ටර් එන්නතක් සාර්ථක මට්ටමින් අත්හදා බලමින් සිටින බව මොඩර්නා එන්නත් නිෂ්පාදන සමාගම පවසනවා.

මේ වන විටත් පුද්ගලයින් 600කට පමණ මෙම බූස්ටර් එන්නත ලබාදෙමින් සායනික පරීක්ෂාවන් සිදු කර ඇති අතර ඉන් 300 දෙනෙකුම පළමු සහ දෙවන එන්නත් ලෙස මොඩර්නා එන්නතම ලබා ගත් පුද්ගලයින් වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මොර්ඩනා සමාගම පෙන්වා දෙන්නේ, බූස්ටර් එන්නතක ප්‍රතිශක්තිය වුව ද මාස 6ක පමණ කාලසීමාවක දී සැලකිය යුතු මට්ටමකින් අවම වන බවයි. ඊට පිළියමක් සිය නව එන්නත මඟින් අපේක්ෂා කරන බව එම සමාගම ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now