කොරියාවෙන් සුබ ආරංචියක් - ශ්‍රී ලාංකීය තරුණයන්ට පණිවිඩයක්..!

Sri Lanka Ajith Rajapakse South Korea
By Sewvandhi Apr 05, 2023 11:31 AM GMT
Report

දකුණු කොරියානු ප්‍රකට සමාගමක් වන ‘හුන්ඩායි’ (Hyundai) සමාගමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලාංකික තරුණයන් සඳහා වැඩි වශයෙන් රැකියා අවස්ථා ලබා දෙන බවට ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ (04) පාර්ලිමේන්තුවේදී, දකුණු කොරියානු රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, ඊට අදාළ පුහුණුව ඇතුළු කටයුතු සොයා බැලීමට, මෙරටට පැමිණි එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) කිම් බොයොන්ග් බෝ (Kim Byong Boo) මහතා ඇතුළු නියෝජිත පිරිසක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමුවී තිබේ.

ලාංකීය තරුණයන් ඉහළ නිපුණත්වයකින් යුතු බවත්, පුහුණුව ලැබූ ශ්‍රී ලාංකේය තරුණයන් වැඩි වශයෙන් එරට රැකියා සදහා ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් මෙම නියෝජිත පිරිස පවසා ඇත.

විශේෂයෙන් මෙම ශ්‍රමිකයින් යහපත් ගුණාංගයන්ගෙන් හෙබි විනයගරුක තරුණයන් වීම වැදගත් බව ද ඔවුන් අවධාරණය කර ඇත.

එනම් එහි දී, රජය මැදිහත් වී නිසි වෘත්තීය පුහුණුවක් මෙරට තුළදී ලබා දීමත් ප්‍රමාදයකින් තොරව හැකිතාක් කඩිනමින් පුහුණු ශ්‍රමිකයන් දකුණු කොරියාවට යොමු කිරීමේ අවශ්‍යතාවත් ඔවුහු පෙන්වා දී ඇති අතර මෙරට ශ්‍රමිකයින්ගේ පහසුකම් සහ ආරක්ෂාව උපරිම වශයෙන් ලබා දෙන බවට ද සහතික කර තිබෙනවා.

මේ අනුව නෞකා ඉදිකිරීම් හා අලුත්වැඩියාව, විදුලි කාර්මික, වෑල්ඩින් ආදී ක්ෂේත්‍රවල පුහුණු ශ්‍රමිකයන් සදහා ඉහළ ඉල්ලුමක් පවතින බවත් ඔවුන්ට ඉහළ වැටුප් හිමිවන බවත් නියෝජිත පිරිස මෙහිදී සඳහන් කර ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now