ඉවත දැමූ කාබන් පෑන් සදහා කරන්න යන අලුත්ම වැඩේ මෙන්න

school Mahinda Amaraweera carbon pen INSEE
By Sewvandhi Mar 09, 2022 11:38 AM GMT
Report

පාසල් පද්ධතියෙන් පමණක් මෙරට වසරක් තුළ කාබන් පෑන් මිලියන 10.8ක් පරිසරයට එකතු වෙන බව පරිසර අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අවිදිමත් ලෙස පරිසරයට බැහැර කරන කාබන් පෑන් හා දත් බුරුසු විශාල පාරිසරික ගැටළුවක් බවට පත්ව ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙයි.

විශේෂයෙන් වැඩිම කාබන් පෑන් ප්‍රමාණයක් පරිසරයට මුදා හරින්නේ පාසල් පද්ධතියෙනි. 

ඊට අමතරව රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන හා එක් එක් පුද්ගලයින් විසින් භාවිතයෙන් අනතුරුව පරිසරයට මුදා හරින හිස් කාබන් පෑන් ප්‍රමාණය කොතෙක්දැයි මෙතෙක් ගණනය කර නොමැත.

පරිසර අමාත්‍යාංශයේ දී අද (09) පැවැති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව අදහස් දැක්වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

"මේ සම්බන්ධව  අවධානය  යොමු කරමින් පරිසර අමාත්‍යාංශය විසින් ඉවතලන දත් බුරුසු හා කාබන් පෑන් විදිමත් පරිදි එකතු කිරීම සඳහා විශේෂ බහාලුමක් හඳුන්වා දුන්නා. දැනට රාජ්‍ය ආයතනවලට එවැනි බහාලුම් 3,000ක් අපි බෙදා දී තිබෙනවා. ලබන වසර වන විට තවත් එම බහලුම් 8,000ක් අපි රාජ්‍ය හා පුද්ගලික ආයතනවලට ලබා දෙනවා. එයින් 4,000ක් පාසල් පද්ධතියට ලබා දෙනවා."

  "මේ එක බහාලුමකට කාබන් පෑන් 3,000ක්, දත්බුරුසු 500ක් දාන්න පුලුවන්. වසර අවසානයේ මෙම එකතුකරන ලද ද්‍රව්‍ය INSEE සමාගම විසින් විනාශ කිරීමට පියවර ගන්නවා."

"අපේ රටේ පාසල් පද්ධතිය තුළ පමණක් දිනකට කාබන් පෑන් කිලෝග්‍රෑම් 100 – 120ත් අතර ප්‍රමාණයක් බැහැර කරනවා. කිලෝ ග්‍රෑම් එකකට කාබන් පෑන් 300ක් පමණ ඇතුළත් වෙනවා. ඒ අනුව එක් දිනයක් තුළ පාසල් පද්ධතියෙන් පරිසරයට එක් වෙන හිස් කාබන් පෑන් ප්‍රමාණය ලක්ෂ 09 කට ආසන්නයි."

"ඒ අනුව අපේ පාසල් පද්ධතියෙන් පමණක් වසරකට කාබන් පෑන් මිලියන 10.8ක් පමණ පරිසරයට එක් වෙනවා. මේවා දිරාපත්වීමට විශාල කාලයක් ගත වෙනවා. අපිට ලැබී තිබෙන තොරතුරු අනුව අඩුම තරමින් අවුරුදු 450ක් පමණ කාබන් පෑන් දිරාපත් වීමට කල් ගත වෙනවා. ඉන්පසුව ඒවා ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශුබවට පත්වෙනවා." 

"අප රටේ දත් බුරුසු භාවිතය සම්බන්ධව තවමත් පිළිගත් තොරතුරු ලැබී නැහැ. නමුත් සමස්ත ලෝකයම ගත් කළ දිනකට බැහැර කරන දත් බුරුසු ප්‍රමාණය බිලියන 23ක් බව සඳහන් වෙනවා."

"පරිසර අමාත්‍යාංශය විසින් කාබන් පෑන් හා දත් බුරුසු බැහැර කිරීමේ වැඩසටහන සඳහා මෙම වසර තුළ රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කිරීමට තීරණය කළා." 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now