නව ලිස්ටීරියා වෛරසය මෙරටටත් ඇවිත්ද... වසංගත විද්‍යා ආයතනයෙන් පැහැදිලි කිරීමක්..

By Sithumi Mar 20, 2023 05:16 PM GMT
Report

ලිස්ටීරියා වසංගත තත්ත්වයක් රට තුළ නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. රත්නපුර මහා රෝහලෙන් වාර්තා වී තිබෙන්නේ පසුගියදා ලිස්ටීරියා රෝගයේ සංකූලතා හේතුවෙන් මරණයට පත් වූ බවයි.

ඊට අමතරව අදාළ කාලසීමාව තුළ ශ්‍රී පාද වන්දනාවේ නිරත වූ තවත් දෙදෙනෙකු මරණයට පත් වූ බවට වාර්තා වීමත් සමග මෙම රෝගය සම්බන්ධයෙන් සමාජයේ දැඩි කථාබහක් මතුව ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වාදෙනවා. කෙසේවෙතත් ඔවුන්ගේ මරණවලට හේතුව ලිස්ටීරියා රෝගය බවට පිළිගත හැකි විද්‍යාත්මක සාධක මෙතෙක් නොමැති අතර දැනට පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ සාම්පල පරීක්ෂා කෙරෙමින් පවතී බව සඳහන් වනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ ලිස්ටීරියා රෝගය බහුලව ඇති වන්නේ නිසි ලෙස සකස් නොකළ මස්, අමුකිරි හෝ පැස්ටරීකරණය නොකළ කිරි මගින් නිපදවන අයිස් ක්‍රීම්, යෝගට් වැනි නිෂ්පාදන අනුභව කිරීමෙන් බවයි. එය විටින් විට මතුවන බැක්ටීරියා ආසාදනයක් වන අතර නිරෝගී පුද්ගලයින් එම රෝගයෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වන්නේ කලාතුරකින් බව සඳහන් වනවා.

කෙසේවෙතත් ලිස්ටීරියා රෝගය නූපන් ළදරුවන්ට, අලුත උපන් බිළිඳුන්ට සහ දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට කලාතුරකින් මාරන්තික විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා. ඒ අනුව ගර්භනී කාන්තාවන්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් සහ දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් අවදානම් කණ්ඩායම් ලෙසයි හඳුන්වා දී ඇත්තේ.

වසංගත රෝග විද්‍යා අංශය මෙම රෝග තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අතර ක්ෂේත්‍ර මට්ටමින් දැනටමත් ආහාර සාම්පල සහ ජාල මුලාශ්‍රවලින් සාම්පල ලබාගෙන විශ්ලේෂණය සඳහා යොමු කර තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය දැනුම්දෙන්නේ ඒ අනුව දැනට ලිස්ටීරියා වසංගත තත්වයක් රට තුළ නොමැති අතර ඒ සම්බන්ධයෙන් ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නොවන බවයි.