විනිසුරුවරුන්ගේ උපයනවිට ගෙවීමේ බද්ද ගැන අධිකරණය දුන් තීරණය

Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka
By Sithumi Jan 26, 2023 12:00 PM GMT
Report

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් "උපයනවිට ගෙවීමේ බද්ද" අඩු කරගැනීමට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය පිළිබඳව කරුණු දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

  ශ්‍රී ලංකා දිස්ත්‍රික් විනිසුරුවරුන්ගේ හා මහෙස්ත්‍රාත්වරුන්ගේ සංගමය විසින් ගොනු කළ පෙත්සමක් සලකාබැලූ අභියාචනාධිකරණය විසින් විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයනවිට ගෙවීමේ බද්ධ අඩු කරගැනීම වළක්වාලමින් ඊයේ (25) තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.  

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

ඇතැම් විනිසුරුවරුන්ගෙන් දැනටමත් මෙම බද්ද වැටුපෙන් අඩු කරගැනීමට කටයුතු කර ඇති බවයි මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සඳහන් කර තිබෙන්නේ.

ඒ අනුව මීට අදාළව කරුණු දැක්වීම සඳහා තමන්ට අවස්ථාව ලබාදෙන ලෙසත් නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙන අතර ඒ අනුව පෙත්සම ලබන 09 වනදා කැඳවීමට නියමිතව තිබෙනවා.  

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරිවරයා සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයා නම් කර තිබෙනවා. විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයනවිට ගෙවීමේ බද්ද අඩු කරගැනීම සුදුසු නොවන බවත් එය ව්‍යවස්ථාපිත නීතියට පටහැනි බවයි පෙත්සම්කාර විනිසුරු සංගම් කියා සිටින්නේ. ඒ අනුව එම තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.