රදැල්ල බස් අනතුරෙ රියදුරා ගැන අධිකරණයෙන් දුන් නියෝගය..!

Nuwara Eliya Sri Lanka Accident
By Sewvandhi Jan 22, 2023 10:00 AM GMT
Report

නානුඔය - රදැල්ල කෙටි මාර්ගයේ දී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි බස් රියදුරා ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

රියදුරු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී නානුඔය පොලීසිය විසින් රියදුරුව සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව සැකකරුගේ රෝගී තත්ත්වය පිළිබඳ සොයාබැලීමට නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහල වෙත ගිය මහෙස්ත්‍රාත් නාලක සංජිව එදිරිසිංහ මහතා විසින් සැකකරුව පෙබරවාරි මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

මේ අතර අනතුරින් මිය ගිය එකම පවුලේ සිව්දෙනා සහ ඥාතී පුත්‍රයාගේ අවසන් කටයුතු අද අලුයම සිදුකෙරුණි. අනතුරින් තුවාල ලබා රෝහල්ගත කළ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ දරුවන් සියලුදෙනා ප්‍රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් තිබේ.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් නුවරඑළියේ අධ්‍යාපන චාරිකාවක නිරතව නැවත කොළඹ බලා බස් රථ 7කින් පැමිණෙමින් සිටියදී එක් බස් රථයක් නුවරඑළිය නානුඔය ප්‍රදේශයේදී අනතුරට ලක්වුණි.

අධික වේගයෙන් ධාවනය වූ බස් රථය ඉකුත් සිකුරාදා රාත්‍රියේ වෑන් රථයක හා ත්‍රිරෝද රථයක ගැටී අනතුරට ලක් වූ අතර ඉන් වෑන් රථයේ ගමන් ගත් හය දෙනකු හා ත්‍රිරෝද රථයේ ගමන් ගත් අයෙක් ජීවිතක්ෂයට පත්වුණි.

එහිදී තුවාල ලැබූ සිසුන් සහ අනෙකුත් පිරිස රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කළ අතර ඔවුන් සියලුදෙනා ප්‍රතිකාර ලබා මේ වන විට පිටව ගොස් තිබේ.

හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචිව සිට මියගිය එකම පවුලේ මව පියා දියණියන් දෙදෙනා හා ඥාති පුත්‍රයාගේ දේහයන් ඊයේ මධ්‍යම රාත්‍රියේ දික්ඔය ජුම්මා පල්ලිය වෙත ගෙන ගියේය.

පැය තුනකට වැඩි කාලයක් අවසන් ගෞරවය දැක්විමට අවස්ථාව සලසා දීමෙන් අනතුරුව ඉස්ලාම් ආගමික වතාවත් හා චාරිත්‍රවලින් පසු දේහ පල්ලියේ සුසාන භූමියේ මිහිදන් කළේය.

එමෙන්ම අනතුරින් මියගිය වෑන් රථ රියදුරාගේ දේහය ඊයේ මධ්‍යම රාත්‍රියේදී දික්ඔය පිහිටි නිවස වෙත රැගෙන ආවේය. ඔහුගේ අවසන් කටයුතු එළඹෙන සඳුදා සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කළේය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now