මැති ඇමතිවරුන්ගේ නිවාසවලට ගිනිතැබීම් ගැන විශේෂ අධිකරණ නියෝගයක්..!

Galle Face Protest Sri Lankan protests Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Feb 24, 2023 07:57 AM GMT
Report

 අභියාචනාධිකරණය විසින්, 2022 මැයි 09 වනදා ගාලු මුවදොර "ගෝඨාගෝ ගම" අරගල භූමියේ ඇති වූ ගැටුම්වලින් අනතුරුව දිවයින පුරා මැති ඇමතිවරුන්ගේ නිවාසවලට ගිනිතැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා ආරක්ෂක ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට කල් ලබාදුන්නේය.

අද දින (24) මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. මෙම නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මැයි මස 22 වනදා ගොනුකරන ලෙස වගඋත්තරකාර ආරක්ෂක ලේකම්, එවක යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ පොලිස්පති ඇතුළු පිරිසට එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කරන්නාගොඩ කමිටු වාර්තාව අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බවද අධිකරණයට දැනුම් දෙනු ලැබීය. බන්දුල ගුණවර්ධන සහ කාංචන විජේසේකර ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු ඇතුළු දේශපාලකයින් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලූ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගීන් විමර්ශන පවත්වා වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවය.

එම වාර්තාව මගින් යුද හමුදාව, පොලීසිය හා බුද්ධි අංශවල රාජකාරි පැහැරහැරීම් නිසා මෙම තත්ත්වය උද්ගතවූ බව පෙත්සමේ සඳහන්වෙයි. එබැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු විත්තිකරුවන්ට නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබේ. 


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now