ප්‍රථම වරට ශ්‍රී ලංකා යුධ හමුදාව "රෙශන්" පැකට් නිෂ්පාදනය අරඹයි. (VIDEO)

Sri Lanka Army Sri Lanka
By Wayomi Apr 01, 2023 08:39 AM GMT
Report

Meals Ready to Eat හෙවත් MRE ලෙස හඳුන්වන කලින් පිසූ ආහාර පැකට් සංග්‍රාමික කටයුතු වලදී යුධ හමුදාව ඇතුළු ආරක්ෂා අංශ භාවිතයට ගැනෙනවා.

කොටි සංවිධානයට එරෙහි යුද්ධය පැවති සමයේදී එම ආහාර පැකට් ආනයනය කරනු ලැබුවේ මැලේසියාවෙන්.

කෙසේ වෙතත් වයඹ විශ්ව විද්‍යාලයේ පෝෂණ හා පශු සම්පත් අධ්‍යයන අංශයේ මඟ පෙන්වීමෙන් යුධ හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් බලකාය මෙම MRE හෙවත් සංග්‍රාමික ආහාර පැකට් ලංකාවේම නිෂ්පාදනය කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ, පොළොන්නරුව කන්දකාඩු එම බලකායට අයත් ගොවිපොළේදීයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ආහාර හා පෝෂණ තාක්ෂණවේදය පිළිබඳ උපාධිදාරීන් සෘජුව යුධ හමුදාවට බඳවා ගැනුණා.

ජීවානුහරණ ක්‍රමවේදය මඟින් බිජාණු සහ බැක්ටීරියා විනාශ කිරීමත්, රික්තක ඇසුරුම්කරණය මඟින් ආහාර වෙත බැක්ටීරියා ඇතුල් වීම වැලක්වීමේ තාක්ෂණයත් එහිදී යොදා ගැනෙනවා.

එමෙන්ම මෙම ආහාර නියැදි වල පෝෂණ තත්වය ආරක්ෂා කිරීමට වරින් වර පර්යේෂණ සඳහා යොමු කරනු ලබනවා.

කාර්ය මණ්ඩලයද මාස 3කට වරක් වෛද්‍ය පර්යේෂණ සඳහා යොමු කෙරෙන අතරම යන්ත්‍රෝපකරණ ද කාර්මික තාක්ෂණ ආයතනයේ අධීක්ෂණයට ලක් වන බවයි යුධ හමුදාව පවසන්නේ.

දිනකට මෙවැනි ඇසුරුම් 1750ක් - 2000ක් අතර ප්‍රමාණයක් නිපදවන අතර විශේෂත්වය වන්නේ යුධ හමුදාවේම ගොවිපලවල් තුලින් ලබාගන්නා සහල්, එළවලු සහ ධාන්‍ය අස්වැනු ඒ සඳහා යොදා ගැනීමයි.

එක් එක් ආහාර ද්‍රව්‍ය පැකට්ටුවක් සඳහා වන නිෂ්පාදන වියදම රුපියල් 1375ක් වන අතර MRE ආහාර පැකට් නවතාලිමෙන් මාසිකව රුපියල් මිලියන 153ක් ඉතිරි කරගැනීමට හැකි වී ඇති බවයි යුධ හමුදාව අවධාරණය කරන්නේ.

අනාගතයේදී මෙම නිෂ්පාදනය පුළුල් කර වනජීවී, ඡායාරූප ශිල්පීන්, කඳවුරු බිම්වල ගත කරන සංචාරකයන්, බාල දක්ෂ කාණ්ඩ, ආපදා සහන කණ්ඩායම් සඳහාද, ධීවර සහ පතල් කර්මාන්ත කරුවන්ටද මෙම ආහාර පැකට් ලබාගත හැකි බව යුධ හමුදාව පවසනවා.

මෙය ආර්ථික වශයෙන් ලාභදායි ව්‍යපෘතියක් වන අතර අපදා තත්වයන් තුලදී ප්‍රයෝජනයට ගත හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය පුළුල් කර විදේශ හමුදාවන්ට ද ලබාදීම යුධ හමුදාවේ අපේක්ෂාවයි.