කම්කරු ඇමතිගෙන් කම්කරු දිනයේදි විශේෂ යෝජනාවලියක්..! කම්කරු නීතියත් වෙනස් වෙයි..

Manusha Nanayakkara May Day Sri Lanka Samagi Jana Balawegaya
By Sewvandhi May 01, 2023 02:26 PM GMT
Report

 කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරන්නේ,මෙම වසර තුළ දී කම්කරු නීතිය වෙනස් කරන බවයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, 2048 වසරේදී මේ රට දියුණු සංවර්ධිත රටක් බවට පත් කිරීමේ අරගලය ඉදිරියට ගෙන යාම සඳහා සියලුදෙනා අත්වැල් බැදගත යුතු බවයි.

 අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් කම්කරු ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වන යෝජනා 11 කින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර එය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් විසින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව කම්කරුවාගේ තිරසර ආරක්ෂාව සහ සමාජ ආරක්ෂණය සහතික කරමින් කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතරම ශක්තිමත් ව්‍යවසායකයෙක් නිර්මාණය කරන, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය දිරිගන්වන ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සකස් කර ව්‍යවස්ථාදායකය තුළ සම්මත කරගැනීම එම යෝජනාවලියට අයත්.

එමෙන්ම සේවක අර්ථසාධක අරමුදලට දායකත්වය ලබාදෙන ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ඉහළ නංවාගැනීමටත්, දායකත්වය ලබාදෙනු ලබන ආයතන ප්‍රමාණය ඉහළ නංවාගැනීමටත් වන සක්‍රීය හා ඵලදායී වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීම සහ අවිධිමත් අංශයේ රැකියාවල නියුතු සේවකයින් සේවක අර්ථ සාධක අරමුදලට ඇතුළත් කරගැනීම ද එහි සඳහන් වනවා.

සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් රට තුළ ස්ථාවර කිරීම සදහා පුළුල් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කළ යුතුව ඇති අතර රටේ ආර්ථිකය තුළ විධිමත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන්ට ඇතුළත් නොවන අසංවිධිත අංශයේ සේවකයින් වෙනුවෙන් පුළුල් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කිරීමටත්.

රැකියා අවසාන කිරීමකදී හෝ රැකියාව අහිමිවීමේදී ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වන ආකාරයේ දායකත්ව විරැකියා රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටත් යෝජනා කර තිබෙනවා.

2048 දී සංවර්ධිත රටක් වෙනුවෙන් වන උපායමාර්ගික වැඩපිළිවෙලට ගැලපෙන ආකාරයට මානව සම්පත, ආර්ථික වශයෙන් ඵලදායී ලෙස යොදා ගැනීම සදහා කටයුතු කරමින් මීලග ශිෂ්ඨාචාරය ජයගත හැකි නවීන වැඩ ලෝකයට ගැලපෙන මානව සම්පතක් බිහි කිරීම සදහා වන උපාය මාර්ගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද එහි ඇතුළත්.

එමෙන්ම ආර්ථික වශයෙන් ඵලදායී මානව සම්පතක් බිහිකර ගැනීමටත්, විදේශගත ශ්‍රමිකයාගේ ආරක්ෂාව සහ සුබසාධනය සහතික කිරීම සදහාත් කම්කරු ක්ෂේත්‍රය සහ විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීමටත් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් පිළිගෙන ඇති පරිදි, වෘත්තිය සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය මූලික අයිතිවාසිකමක් යන්නට ගරු කරමින්, සියලුම සේවා ස්ථානවල ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය සුරක්ෂිත කිරිම සදහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කිරීම ද එම යෝජනාවලියට ඇතුළත් කර තිබෙනවා.

සේවා ස්ථානයේදී ලිංගිකත්වය මත පදනම්වූ වෙනස්කම්වලට භාජනය වීම වැලැක්වීම, කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය ඉහළ නංවාගැනීම, සේවයේ යොදවා ඇති සේවිකාවන්ගේ මාතෘ ප්‍රතිලාභ සමාජ ආරක්ෂණ අරමුදලකින් ගෙවීම සදහාත් විධිමත් නෛතික රාමුවක් සකස් කිරීම, ඕනෑම වෘත්තීයක නිතරවන ශ්‍රමිකයාගේ අභිමානය, ගරුත්වය සහ වෘත්තිකත්වය ආරක්ෂා වන වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම ද එම යෝජනාවලියට ඇතුළත් කර ඇති බව සඳහන්.

ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් මානව සම්පත් ලෙස දිරිගැන්වීමට අවශ්‍ය පියවර ගැනීම, අයිතිවාසිකම් සහ සුභසාධනය ශක්තිමත්, නූතන වැඩ ලෝකයට ගැලපෙන වතු කම්කරුවෙක් නිර්මාණය කිරීම මෙන්ම අනාගත වැඩ ලෝකයේ ඇතිවන තාක්ෂණික වෙනස්කම් සදහා ප්‍රතිපත්‍ති සම්පාදනය සදහා විශාල දත්ත ඒකරාශී කරගැනීමේ අරමුණින් පුද්ගලික සහ රාජ්‍ය ශ්‍රම වෙළදපොල පදනම් කරගත් ජාතික වෙළදපොල තොරතුරු පද්ධතියක් ක්‍රියාත්මක කිරීම ද කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවලියට ඇතුළත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now