මයිත්‍රීගේ පෙත්සමකට අදිකරණය දුන් නියෝගය

Maithripala Sirisena Sri Lanka
By Sithumi Jan 26, 2023 01:52 PM GMT
Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් සැකකරුවෙක් වශයෙන් නම්කරමින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොනුකර ඇති රිට් පෙත්සමේ අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරනතුරු ඒ මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බව පැමිණිලිකාර පාර්ශ්වය අද (26) අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදදී තිබෙනවා.

  මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන අදාළ පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුණා.  

එහිදී අදාළ පෞද්ගලික පැමිණිල්ලේ පැමිණිලිකරුවන් වශයෙන් නම්කර සිටින සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මෙම ප්‍රතිඥාව ලබාදුන් අතර නඩුකරය පාදක වන නීතිමය ගැටලුවක් නිරාකරණය කර ගැනීම සඳහා ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම්කරන ලෙස මීට පෙර පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ ඉල්ලීම් කර තිබුණි. 

 එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල එවැනි විනිසුරු මඩුල්ලක් නම්කරන ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත ඉල්ලීම් කිරීමට පැමිණිකාර පාර්ශ්වයට හැකියාව තිබෙන බව දන්වා සිටියා. 

 ඉන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර විභාගය සඳහා ජනවාරි මස 31 වනදා  කැඳවීමටද අධිකරණය නියම කළා.