පළාත් පාලන ආයතන 340 ගැන රජය ගත් විශේෂ තීරණය

Janaka Wakkumbura Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi දින 6 කට පෙර
Report

හෙට (20) දිනයේ සිට ද පළාත් පාලන ආයතනවලින් මහජනතාවට අවශ්‍ය සේවය ඒ ආකාරයෙන්ම ලබාදීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ ඒ සඳහා අවශ්‍ය සියලු පියවරයන් මේ වන විටත් ආණ්ඩුව ගෙන ඇති බවය.

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. ඒ අනුව එම ආයතනවල සියලු පරිපාලන කටයුතු හෙට (20) සිට කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් යටතට පත් කෙරෙනු ඇති. 2018 වසරේ පෙබරවාරි 10 වනදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් අනතුරුව සභිකයින් තෝරාගැනීමෙන් පසු එම වසරේ මාර්තු 20 වනදා සිට පළාත් පාලන ආයතන 340ක සභිකයින්ගේ නිල කාලය ආරම්භ විය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පමණක් වෙනම ඡන්ද විමසීමක් පැවැත්වීම හේතුවෙන් එහි නිල කාලය ආරම්භ වුණේ 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිටය. ව්‍යවස්ථානුකූලව වසර හතරක කාලයකට පසු පසුගිය වසරේ මාර්තු 20 වනදා පළාත් පාලන ආයතන 340ක නිල කාලය අවසන් වීමට නියමිතව තිබුණද විෂයභාර අමාත්‍යවරයා සිය බලතල ප්‍රකාරව නිල කාලය වසරකින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව එම පළාත් පාලන ආයතන 340හි නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. එම ආයතනවල සභිකයින්ගේ නිල කාලය තවදුරටත් දීර්ඝ කිරීමට අමාත්‍යවරයාට බලය නොපැවරෙන බැවින් සහ ඡන්ද විමසීමකින් මෙතෙක් සභිකයින් පත්කරගැනීමක් සිදුව නොමැති බැවින් ඒවා පත්වන්නේ රාජ්‍ය නිලධාරීන් යටතේය. ඒ අනුව මහ නගර සභා 29හි බලය නාගරික කොමසාරිස්වරුන් යටතටත්, නගර සභා 36හි සහ ප්‍රාදේශීය සභා 275හි බලය එම ආයතනවල ලේකම්වරුන් යටතටත් පත්වේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයින්ගේ නිල කාලය අවසන් වන්නේ එළඹෙන ඔක්තෝබර් මාසයේදීය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now