ලංකා ප්‍රිමියර් ලීග් 6 වැනි අදියර හෙට ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ 6 වැනි අදියර හෙට (17) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) පිටියේදී ආරම්භ වීමට නියමිතය.
තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (15) කොළඹදී කණ්ඩායම් නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙවර තරගාවලියේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස් විසින් මෙහෙයවන අතර, කලම්බු කැප්ස් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව තිබේ. දඹුල්ල සික්සර්ස් කණ්ඩායම දිනේෂ් චන්දිමාල් විසින් ද, ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම දසුන් ශානක විසින් ද මෙහෙයවනු ලබන අතර, ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකත්වය භානුක රාජපක්ෂ විසින් දරනු ලබයි.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් වන මොයින් අලී, ශහීන් ෂා අෆ්‍රිඩි, ජේම්ස් නීශම්, ශහිබ්සාදා ෆර්හාන්, රීසා හෙන්ඩ්‍රික්ස් සහ ශකිබ් අල් හසන් ඇතුළු අත්දැකීම් බහුල ක්‍රීඩකයන් මෙන්ම මෙරට යොවුන් ක්‍රීඩකයන්ගෙන් ද මෙවර කණ්ඩායම් සමන්විත වේ.
පසුගිය අදියරේදී මතුවූ තරග පාවාදීමේ උත්සාහයන් සම්බන්ධ ගැටලු සැලකිල්ලට ගනිමින්, මෙවර තරගාවලියේදී එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා විශේෂ පෞද්ගලික ආයතනයක් යොදවා ඇති බව තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ ද මීට පෙර කටයුතු කර ඇති එම ආයතනය තරගාවලිය පුරා මෙරට රැඳී සිටිමින් නිරීක්ෂණ කටයුතු සිදුකරනු ඇතැයි ඔහු පැවසීය.
මෙවරද පසුගිය අදියරේදී හඳුන්වා දුන් ‘පවර් බ්ලාස්ට්’ පවර්ප්ලේ අවස්ථාව ක්‍රියාත්මක වන අතර, ‘ඉම්පැක්ට් ප්ලේයර්’ නීතිය ද යොදා ගැනීමට නියමිතය. එමෙන්ම වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයකු ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනා අතරට ඇතුළත් කිරීම අනිවාර්ය කර තිබේ.
මූලික වටයේ තරග අගෝස්තු 2 වැනිදා දක්වා එස්.එස්.සී., රංගිරි දඹුලු සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණවල පැවැත්වීමට නියමිත අතර, එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී LPL තරග පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
අවසන් වටයේ සියලු තරග අගෝස්තු 8 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
තරගාවලියේ සමාරම්භක තරගය ගෝල් ගැලන්ට්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර හෙට රාත්‍රී 7.30ට ආරම්භ වේ.