කිරි අම්මා දානයකට නිවැරදිව කිරිඅම්මා කෙනෙක් තෝරාගන්නේ කොහොමද ? - හරියටම කිරිඅම්මා දානයක් කරන්නේ මෙහෙමයි.
කිරි අම්මාවරුන්ගේ දානය අද සමාජයේ බොහෝ දෙනා අතරත් ජනප්‍රියයි. විවිධ ප්‍රදේශවල මෙය පත්තිනි දානය, කිරි අම්මා දානය, කිරි දානය, කිරි දේව දානය යන නම් ගණනාවකින් හඳුන්වනු ලබනවා. කිරි අම්මාවරුන්ගේ දානය පුරාණයේ සිට අද දක්වාම ලංකාව තුළ ඉතා ප්‍රචලිත බාරහාර ඔප්පු කිරීමකි. පත්තිනි මෑණියන්ගේ පිහිට, ආරක්‍ෂාව, රැකවරණය ලබා ගැනීමට බාර වී එම බාරය ඔප්පු කිරීමට කිරි දානය දීම සිදු කරයි. මුල් කාලීනව කුඩා දරුවන් උදෙසා මෙන්ම ගැබිනියන් උදෙසා කිරි දාන බාර වුවද අද මෙන්ම මෙය බාල, වැඩිහිටි, තරුණ, මහලු යන සියලුම වයස් මට්ටම්වල අය සඳහා ද බාර වීම සිදු කරනවා.
බෞද්ධ වන වගේම නොවන ඇතැම් අය දකිරිඅම්මා දානයක් දෙන්න ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි සමහරු හරියටම කිරිඅම්මා දානයක් දෙන විදිහ නොදන්නවා වෙන්නත් පුළුවන් .
ඉතින් අපි අද බලමු නිවැරදිව කිරිඅම්මා දානයකට සූදානම් වෙන්නේ කොහොමද? සහ නිවැරදිව කිරිඅම්මා දානයක් දෙන්නේ කියලා.
ජනප්‍රවාදයේ එන විදිහට කිරිඅම්මා දානයට භාර වෙන අවස්ථා.
🦋 පත්තිනි දේවිය උදෙසා දෙන කිරි දානය දෙවියන් විසින් නොසැදුව ද, දෙවියන් විසින් සාදනවා යැයි ජනප්‍රවාදයේ ඇති ‘දෙයියන්ගේ ලෙඩ’ එනම් සරම්ප, පැපොල, කම්මුල්ගාය, කක්කල්කැස්ස වැනි වෛරස් රෝග දුරුකර ගැනීමට මෙන්ම දරුවකු මව්කුස පිළිසඳ ගැනීමේ සිට දරුවා ප්‍රසූත කරන තුරු ඇති විය හැකි ලෙඩ රෝග සමනයට පත්තිනි දේවියට පුදනු ලබයි. ඊට අමතරව ආර්ථිකය යහපත් කර ගැනීමට වතුපිටි, ඉඩකඩම් ආරක්‍ෂා කර ගැනීමට, කුඹුරු ගොවිතැන් ආදිය සරුකර ගැනීමට, ඇස් වහ, කටහව, හෝවහ, අඬෝවැඬියා, වස්දොස් ආදී දෝෂ හරණයට, අමුනුෂ්‍ය බිය, අණවින, කොඩිවින හදිහූනියම් ආදිය නැති කර ගැනීමට මෙම පත්තිනි දේවිය උදෙසා දෙන කිරි දානය භාවිතා කරයි. අතැම් නිවෙස්වල චාරිත්‍රයක් ලෙස වසරක් පාසා කිරි දානය දීම ද සිදු කරන අතර ඔවුන් එයින් නිවසට ශ්‍රියාකාන්තාව හෙවත් ලක්‍ෂ්මි දේවිය වැඩම කරවා ගැනීමට බලාපොරොත්තු වෙනවා.
ජනප්‍රවාදයේ එන කිරි අම්මාවරු.
🦋 කිරි අම්මා දානය, පත්තිනි දේවිය උදෙසාම පවත්වනුයේ පතිවෘත්තා බලය හේතුකොට ගෙනයි.
🦋 පුරාණයේ කිරිඅම්මා ලෙස පතිදම් රැකි පත්තිනි දේවිය හැරුණු කොට තවත් පතිදම් රැකි කිරි අම්මලා කිහිප දෙනෙක්.
🦋 එනම් වෙල්ලස්සේ කිරි අම්මා, සලම කුමාරි කිරි අම්මා, කුකුලාපොළ කිරි අම්මා, උනාපාන කිරි අම්මා, හඳුන් කුමාරි කිරි අම්මා, ගෝනතලාවේ කිරි අම්මා, ඉඳිගොල්ලේ කිරි අම්මා, කොස්ගම කිරි අම්මා ලෙසයි.
🦋 එමෙන්ම මොවුන් විවිධ ප්‍රදේශවල පූජනීය කොට සැලකූ අය වන අතර පුරාණ පොතපත අනුව හඳුන් කුමාරි කිරි අම්මා හා සලම කුමාරි කිරි අම්මා ලෙස හැඳින්වූයේ පත්තිනි දේවියම බව ද සඳහන්.
🦋 ජනප්‍රවාදවලට අනුව කුකුලාපොල කිරි අම්මා කුවේණිය ලෙසත්, කොස්ගම, කිරි අම්මා කොස්ගම දෙවිඳුන්ගේ දේවිය බවත් කියනවා.
අද කාලේ නිවැරදිව කිරි අම්මා කෙනෙක් තෝරා ගැනීම.
🦋 කිරි අම්මා දානය සඳහා සහභාගි විය යුත්තේ පාතිවෘත්තාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රකින, ළඟදී දරුවන් බිහිකළ කිරි දෙන මව්වරුන්ය. එහෙත් අද නූතනයේ ළඟදී දරුවන් බිහිකළ මව්වරු සොයා ගැනීමේ අපහසුව නිසා දරුවන් සිටින වැඩිහිටි හෝ මහලු කාන්තාවන්.
🦋 කිරි අම්මා කෙනෙක් කියන්නේ සත්‍යය වශයෙන්ම එම අවස්ථාව වන විට කිරි දරුවෙකුට තම දෙතනින් කිරි දෙන අම්ම කෙනෙක්. කිරි අම්මාවරුන්ගේ දානයට මහලු, හැරමිටියෙන් යන ස්ත්‍රීන්, සුවකළ නොහැකි රෝගවලින් පෙළෙන ස්ත්‍රීන්, අන්ධ, බිහිරි, ගොළු ස්ත්‍රීන්, වැන්දඹු ස්ත්‍රීන්, අංගවිකල ස්ත්‍රීන්, වඳ ස්ත්‍රීන්, අංශභාග හෝ අපස්මාර රෝගීන් මත්ද්‍රව්‍ය භාවිතා කරන ස්ත්‍රීන්, මස් මාංශ විකුණන ස්ත්‍රීන්, නිතර දබර කරන ස්ත්‍රීන්, කේලාම් කියන ස්ත්‍රීන්, ගණිකා වෘත්තියේ යෙදෙන ස්ත්‍රීන්, අවිවාහක ස්ත්‍රීන්, අශුද්ධ ස්ත්‍රීන්, ස්වාමි පුරුෂයා මිය ගිය කාන්තාවන් කැඳවන්නේ නැහැ.
කිරි අම්මාවරු 7 දෙනා.
🦋 එක් කිරි අම්මා කෙනකු එක් පත්තිනි දේවිය බැගින් නියෝජනය කරන අතර පත්තිනි දේවියන් 7 දෙනකු කිරි අම්මාවරු 7 දෙනා නියෝජනය කරනවා.
🦋 ඒ නිසාම මෙම කාන්තාවන් චරිතය යහපත් අය විය යුතුයි. එලෙස නියෝජනය වන පත්තිනි දේවීන් 7 දෙනා මෙසේය. සිද්ධ පත්තිනි, සලඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිනි හා සත් පත්තිනි
දිනයක් තෝරා ගැනීම.
🦋 මහා පත්තිනි දේවිය උදෙසා දෙන කිරි දානය දීමට මුලින්ම දිනයක් තෝරා ගත යුතුයි.
🦋 ඒ සඳහා පුර පාර්ශ්වයේ කෙම්මුර දිනයක් වන බදාදා හෝ සෙනසුරාදා දිනයක් විය යුතුයි.
🦋 දානය දීම සඳහා නිවැසියන් පේවිය යුතු අතර පේවීම අමාවක පසුවී දින 3 ක පටන් සතියක පමණ කාලයක් කළ යුතුය. මෙම සතියක කාලය තුළ කිලි කුණුවලින් තොර වීම ද අනිවාර්යයි.
අවශ්‍ය ද්‍රව්‍ය හා පූජා භාණ්ඩ
🌿 බුලත් කොළ 7, මැටි පහන් 7, පහන් තිර 7, පඬුරු 7, බුලත් විට 7, කපුරු පැකට් 1, කිරිබත් කෑලි 49 ක්, කැවුම් 49 ක්, කෙසෙල් ගෙඩි 49 ක්, කිරියා කෑලි 49 ක්, කෝපි කෝප්ප 7 ක් දැක්විය හැක. වැඩිදුරටත් විවස්තර කළහොත් කැකුළු හාල් කිලෝ 7 ක කිරිබත්, කිලෝ 2 ක හාල් කිරියා, කිලෝ 2 ක කැවුම්, කෙසෙල් ගෙඩි 49 ක්, කිතුල් හකුරු කෑලි 7 ක්, කෙසෙල් කොළ 7, කිරි අම්මාවරු දානය ගත්පසු ඉතිරි කෑම රැගෙන යෑමට ලොකු බෑග් 7 ක්.
සූදානම.
🌿 දානයට අවශ්‍ය කැවිලි පිළියෙල කිරීමට ප්‍රථම අඩුක්කු වෙන්කර පොල් ගහක කොළ බැඳ කිරි අම්මලාට දානයක් දෙන බවට පොරොන්දු වී පඬුරක් බැඳ දිනයක් වෙන්කර බාරවෙයි.
🌿 පසුව බුලත් දී කිරි අම්මලා 7 දෙනකු වැඩම වීමට ආරාධනා කරයි. දාන දීමට කොළ බැඳි පොල් ගහේ ගෙඩි කඩාගෙන නොයිඳුල් තෙල් හිඳ කැවුම් ප්‍රධාන කොට සාදන කැවිලි සියල්ල කිරි දානයට දිනකට පමණ පෙර සාදා ගනු ලබනවා.
🌿 ඒ අතර කිරියා කෑලි ද ප්‍රධාන වේ. කිරි අම්මා දානය පැවැත්වීමට පෙර දින එළිමහනේ කැවිලි පිළියෙල කළ යුතු අතර නිවසේ ඇති මකුළුදැල් කඩා නිවස සෝදා පිරිසිදු කර ගත යුතු වෙනවා.
🌿 සෝදා ගත් නිවසට සඳුන් හා පොල් කිරි මිශ්‍ර කර සඳුන් කිරි පැන් සාදා කුඩා අඹ හෝ දෙහි අත්තකින් නිවස පුරා ඉසීම සිදුකරනු ලබනවා.
🌿 අනතුරුව කට්ටකුමංජල් දුම් (සුවඳ දුම්) ඇල්ලීම ද සිදු කරන අතර සඳුන් කිරි පැන් ඉසීම හා කට්ටකුමංජල් දුම් ඇල්ලීම නිවස තුළ පමණක් නොව මුළු වත්ත පුරාම ද කළ යුතුයි.
🌿 මෙසේ සිදුකළ පසු නිවස ඉදිරිපිට මල්පැලක් ද නිවස තුළ මල්යහනක් ද සෑදීම සිදු කරන අතර එළිමහනේ සෑදු මල්පැලේ කෙසෙල් කොළයක් එලා ඒ මත බුලත් කොළ 7 ක් අතුරා මල්, පහන්, හඳුන්කූරු තබනවා.
🌿 ගෙයි සාදන මල්යහන පුටුවක ගොක් කොළවලින් සරසා ඒ තුළ කෙසෙල් කොළයක් අතුරා බුලත් කොළ 12 ක් අතුරනු ලබයි. ඊට සමන් මල් කැකුළු, ඊතණ, හෙල අබ, සුනුසහල්, විලඳ යන දෙයින් සුසැදි ලදපස්මල් හා පිනිදිය ඉසිනු ලබයි. ඉන්පසු කපුරු, සුවඳ දුම් අල්ලා පත්තිනි දේවිය උදෙසා ගැටගැසූ බාරය ද එහිම තැන්පත් කරනවා.
🌿 නිවසෙන් පිට හා නිවස තුළ සාදන මල්පැල හා යහන ඊසාන දිශාවේ හෝ උතුරු දිශාවේ සෑදිය යුතු අතර නිවසේ හෝ ඉඩමේ බ්‍රහ්ම පාදයට හසුනොවිය යුතුයි.
දානය දෙනු ලබන නිවැරදි වෙලාව?
🌿 සාමාන්‍යයෙන් කිරි අම්මා වරුන්ගේ දානයක් පැවැත් වෙන්නේ හිමිදිරි පාන්දරින්. ඒ කියන්නෙ උදේ පහට විතර. එනම් “කොස් නැටි පෙනෙන” වෙලාවටයි. එක් පත්තිනියකට විනාඩි හත බැගින් විනාඩි හතලිස් නමයක කාලයක් තුළ මෙය නිම කළ යුතු වෙනවා.
දානය සදහා පිළියෙල කරන විශේෂ ආහාර
🦋 මේ සඳහා කෑම වර්ග හතක් පිළියෙල කරනවා. ඒ සෑම කෑම වර්ගයකින්ම හත බැගින් එක් කිරි මවකට පිළිගන්වනවා. ඒ කිරිබත් කෑලි හතයි, කිරි කෑලි හතයි, හැඳි කැවුම් (කොණ්ඩ නැති කැවුම්) හතයි, කෙසෙල් ගෙඩි හතයි, හකුරු කෑලි හතයි ආදී වශයෙන්. හැම කිරිමවක් ම ආහාර අනුභව කරන්නේ නොඉඳුල් කෙසෙල් කොළ වලයි.
කිරිඅම්මාවරුන්ගේ දානය දෙනු ලබන පිළිවෙල
🦋 කිරි දානයක් සදහා සුදානම් වීමේදී දානය දෙනු ලබන නිවස තුලට මස් මාංශ හා අනෙකුත් පිළී ආහාර ද්‍රව්‍යන් රැගෙන ඒම දානය දෙනු ලබන දිනට පෙර දින 7ක් හෝ අවම දින 3 ක කාලයක් සිට නවතා නිවස හා ගෙවත්ත පිරිසිදු කර දානය දීම සදහා නිවැසියන් සූදානම් වෙනවා.
🦋 නිවස මෙන්ම නිවැසියන්ද මේ කාලය තුල පිළීආහාර වලින් වැළකී පේවීම සිදු කරන්නේ වඩාත් හොදින් දේව ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණීන්. නියමිත වේලාවට ප්‍රධාන කිරි අම්මා පෙරටු කරන් දානයට වාඩිවන කිරි අම්මාවරු පළමුව සත් පත්තිනි පහනේ තිරය බැගින් දල්වනවා. සත් පත්තිනි පහන සඳහා සුදානම් කරන පහන් තිර ශක්තිමත් ව තරමක් මහතට සකස් කරනවා.
🦋 දෙවනුව හඬ නගා පන්සිල් ගැනීම කරනවා.තෙවනුව විනාඩි පහළොවක් පමණ පත්තිනි හෑල්ලේ කවි ගායනා කරනවා. සිව්‍වනුව දානය වළඳනවා.
🦋 ඒ සඳහා වැය කරනුයේ විනාඩි පහළොවක තරම් වු කාලයක්. දානය වැළඳීමට පෙර තම ආහාර බඳුනෙන් ස්වල්පයක් ඉෂ්ට දේවතාවුන් සිහිකර ඔවුන් වෙනුවෙන් එය ඉවත් කර පත් කොළයේ පසෙකින් තියනවා. පස්වනුව දෙවියන්ට පිං අනුමෝදන් කරනවා.
🦋 ඉන්පසු නැගී සිටිනා කිරි අම්මාවරු හයවනුව සත් පත්තිනි පහනේ ඇති පහන් තිරය බැගින් අතට ගෙන රෝගියා හෝ බිළිඳු දරුවා අසලට ඇවිත්”සියලු රෝග නිවාරණයි” කියමින්, සත් වරක් බිළිඳාගේ/රෝගියාගේ සහ පවුලේ උදවියගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ගෙනයමින් ආශිර්වාද කරනවා. සත්වනුව ඒ අසල තබා ඇති පොල් කිරි භාජනයට එම තිරය දමා තිරය නිවා දමනවා.
🦋 අනතුරුව තමාට පිළිගැන්වු ආහාරවල ඉතිරි කොටසද රැගෙන පසුපස නොබලා කඩුල්ල පැන පිටත්ව යනවා. සමහර ප්‍රදේශ වල නිවස කඩුල්ල පැන යාමට පෙර ප්‍රධාන කිරි අම්මා විසින් දානය දුන් පවුලේ සාමාජිකයන්ගේ සියළු දොස් දුරුවේවායි කියා පොල් ගෙඩියක් මන්නයෙන් බිද, ජලය පුරවා තිබූ කළයේ වතුරින් කිරි මව්වරුන් දෙපා සෝදා ගෙන නිවැසියන්ට සෙත් පතා පසු පස නොබලා යෑමත් කරනවා.
🦋 ඉස්සර කිරිඅම්මාවරු විනාඩි හතලිස් නමයක කාලය මැනගැනීම සඳහා ඔරලෝසු බැලුවේ නැහැ.. “කොස් කොලවල නැටි පෙනෙන වෙලාවට” නිවසට පැමිණ, “කහ කැටේට ඉර පෑයිමට පෙර” පිටත්ව යන විට සාමාන්‍යයෙන් ගතවන කාලය මේ කටයුත්තට අයිති කාලය හැටියට ඔවුන් සැලකුවා.
🦋 මෙම දානයෙහි විශේෂත්වය තමයි, කිරි අම්මාවරුනට පිරි නමන සෑම ආහාරයක්ම කිරි එරෙන දේවල් වීම. දානයට පැමිණීමට පෙර තම ළදරුවාට කිරි පොවා පැමිණෙන මව දානය නිමවා නැවත නිවසට යනවිට, ළදරුවාද නැවත කිරි බීමට සුදානම්වයි ඉන්නේ. එවිට ඇය තම නිවසට ආපසු පැමිණි වහාම කරනුයේ තමන්ගේ ළදරුවාට නැවත නැවතත් කිරි දීමයි.
🦋 එවිට ඒ දෙන කිරි, කිරි දානයේදී වැළදු කිරි ආහාර පදනම් කොට ගෙන එරුණ ඒවා. “නොඉඳුල් ළදරුවන්ට” එම කිරි පොවන විට ඔවුන් වෙනුවෙන් පිරි නැමු දානයේ පරමාර්ථය නිරායාසයෙන් ම මුදුන්පත් වෙනවා කියලයි පැවසෙන්නේ.
🦋 මෙම කිරි අම්මාවරුන් ගේ දානයේ තවත් වැදගත් කරුණක් වනුයේ “සත් පත්තිනි පහන” දැල්වෙනුයේ දානය සඳහා වැයවන කාලය තුළදී පමණක් වීම. කිරි අම්මාවරු පැමිණෙන විට පහන පත්තු නොවේ. ඒක් එක් එක් තිරය බැගින් පත්තු කරනුයේ ඔවුන් විසිනුයි.
🦋 දානය අවසන් වු විට එක් එක් තිරය බැගින් නිවා දමනුයේද ඔවුන්මයි. පළමු කිරි මව පැමිණි මොහොතේ දැල්වීම ඇරඹෙන පහන, අවසන් කිරි මව නැගිට යන මොහොතේ සම්පුර්ණයෙන්යෙන්ම නිවා දැමෙනවා.
🦋 හැබැයි, මෙහිදී ඔබ තවත් දෙයක් මතක තියාගන්න ඕනේ. අපේ රටේ විවිධ ප්‍රදේශවල ජනතාව කිරිඅම්මාවරුන්ගේ දානය පවත්වන විදිය එක හා සමාන නැහැ. සමහර ප්‍රාදේශීය වෙනස්කම් නිසා ඔබ දැන සිටි කිරි අම්මාවරුන්ගේ දානය මීට වඩා පරස්පර වෙන්නත් පුළුවන්.
🦋 කෙසේ වෙතත් මේ දානයේ සුවිශේෂ වැදගත්කම අවබෝධ කරගෙන නිවැරදිව දානය පවත්වන එක නම් කාගෙ කාගෙ අතිනුත් වෙන්න ඔනෙමයි.
🦋 ඔබත් මින් පස්සේ කිරි අම්මාවරුන්ගේ දානය ජනප්‍රිය රැල්ලට, කරන්නන්වාලේ කරන එක නවත්වලා හරි විදියට ම පවත්වන්න.
🦋 මොකද බොහෝ තැන් වල කිරි අම්මාවරුන්ට නුසුදුසු කාන්තාවන් තමන්ගේ ආශාවට අත්දැකීම් ලබා ගැනීමේ පරමාර්ථ ඇතිවද එක්වීම දක්නට ලැබෙනවා.