දරුවෙක්ව පැහැර ගත් සැකකරුට අධිකරණයෙන් ලැබුණු නියෝගය
මහනුවරදී 09 හැවිරිදි දරුවෙකු පැහැරගත් බවටවූ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබේ. 30 හැවිරිදි අදාළ සැකකරු පසුගිය 04 වනදා මහරගම දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගත් අතර මහරගම පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මහනුවර මූලස්ථාන පොලීසිය වෙත ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව අද අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට ද නියෝග කර ඇත. පසුගිය 03 වනදා සිය මව්පියන් සමග මහනුවර ඇසල පෙරහැර නැරඹීමට ගොස් සිටි 09 හැවිරිදි පිරිමි දරුවා මෙම සැකකරු විසින් රවටා කොළඹට රැගෙනවිත් තිබුණි.
ඔවුන් අවිස්සාවේල්ල - කොළඹ දුම්රියක ගමන් කරමින් සිටියදී දරුවාගේ සැකකටයුතු හැසිරීම හේතුවෙන් මගීන් විසින් ඒ පිළිබදව පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය පැවසීය. එම සැකකරු මීට පෙර ද කුඩා දරුවෙකු පැහැරගෙන යාමට උත්සහ දරා ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |