ජාතික ජන බලවේග විරෝධතාවට එල්ල කළ කඳුළු ගෑස් හා වායු බෝම්බ ගැන වාර්තාව එළියට..!
කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට පසුගිය පෙබරවාරි මස 26 වනදා ජාතික ජන බලවේගය සිදුකළ උද්ඝෝෂණයට එල්ල කළ කදුළු ගෑස් කල්ඉකුත් වී නැතැයි පොලිස් මහජන ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වාර්තාවක් යොමුකරමින් දන්වා තිබේ.
එම කදුළු ගෑස් සම්බන්ධයෙන් සති 2ක් තුළ අධිකරණයට වාර්තාවක් යොමු කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පසුගිය 13 වනදා, පොලීසියේ මහජන සම්බන්ධතා කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට සිදුකළ නියෝගයට අනුව මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.
අදාල වාර්තාවෙන් දන්වා තිබෙන්නේ එදින උද්ඝෝෂණයට වායු බෝම්බ 26 ක් සහ කදුළු උණ්ඩ 85 ක් නිකුත්කළ බවය. එහිදී භාවිත කළ වායු බෝම්බ කොරියාවේදී 2019 වසරේ ජූලි මස නිෂ්පාදනය කර ඇති බවත් කදුළු ගෑස් උණ්ඩ 2020 අගෝස්තු මස නිෂ්පාදනය කර ඇති බවත් එම වාර්තාවෙන් දැනුම් දී ඇත. තවද ඒවා කල්ඉකුත්වීමට නියමිතව ඇත්තේ 2024 වසරේ බවද එම වාර්තාවේ සඳහන් වේ.
මේ අතර,අද (27) අදාළ උද්ඝෝෂණය සිදුකළ දිනයේ ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දී මියගිය ජාතික ජන බලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරි මහතාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි කැඳවීය.
එහිදී ඒ මහතා මියයන අවස්ථාවේ ඔහු සමඟ එම උද්ඝෝෂණයට පැමිණි නිවිතිගල ආසනයේ හොරගොල්ල කොට්ඨාසයේ ජාතික ජන බලවේගයේ භාණ්ඩාගාරික නිමල් විජේතිලක මහතා සාක්ෂි ලබා දී තිබුණි.
පසුව මරණ පරීක්ෂණය ලබන මැයි මස 22 දක්වා කල් තබා තිබේ.