ජපන් තව සමාගමක් ලංකාව අත් හැර ගියේ ඇයි..

Japan Sri Lanka Relationship Japan
By Sithumi Feb 18, 2023 05:52 PM GMT
Report

මෙරට ආර්ථික වාතාවරණය වෙනස් වීමත් සමඟ මිට්සුබිෂි සමාගම තම ශ්‍රී ලංකාවේ කාර්යාලය වසා දැමීමට තීරණය කළා මෙන් ජපාන තායිසෙයි සමාගමද තම ගිවිසුම් අවලංගු කිරීමට තීරණය කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබෙනවා.

නිකෙයි ඒෂියා වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ දෙවන අදියර සඳහා සිව්මහල් මගී පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සහ අනෙකුත් ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් 2020 වසරේදී ජපාන යෙන් බිලියන 62 ක කොන්ත්‍රාත් ගිවිසුමක් ජපාන තායිසෙයි ඉංජිනේරු සමාගමට හිමිවූ බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උඝ්‍ර වෙත්ම ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ක්‍රියාකරු වන ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම වෙත ණය ලබා දීම අත් හිටුවීම හේතුවෙන් ව්‍යාපෘතිය අඩපණ වූ බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබෙනවා.

ඒ හේතුවෙන් ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තායිසෙයි ඉංජිනේරු සමාගම ගුවන් තොටුපළ ක්‍රියාකරු සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ව්‍යාපෘතිය ඈවර කිරීමට එම සමාගම තීරණය කර ඇති බවත් නිකෙයි ඒෂියා වෙබ් අඩවිය සඳහන් කර ඇත.ඔවුන් මෙම ව්‍යාපෘතිය පාඩු ලැබූ ව්‍යාපෘතියක් ලෙස නම් කර ඇති බවත් නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබෙන්නෙ.

මේ පිළිබඳ තායිසෙයි සමාගමෙන් කළ විමසීමකදී තනි ව්‍යාපෘති පිළිබඳ අදහස් ප්‍රකාශ කළ නොහැකි බව පවසා තිබෙනවා. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම් කටයුතු සඳහා මූල්‍ය සහාය ලබා නොදීමට තීරණය කර නොමැති නමුත් තායිසෙයි සමාගම ව්‍යාපෘතිය ඈවර කිරීමට තීරණය කිරීම හේතුවෙන් එම ව්‍යාපෘතිය භාර දීම සඳහා තවත් සමාගමක් සොයා ගැනීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයට සිදුවනු ඇතැයි නිකෙයි ඒෂියා වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

චීන සමාගමක් මෙම ව්‍යාපෘතිය සඳහා උනන්දු බව ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා කර තිබූ නමුත් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය ණය මුදල ලබා දී තිබෙන්නේ ජපාන සමාගම් ඉදිකිරීම් කටයුතු සඳහා සහභාගී විය යුතුය යන කොන්දේසිය මත බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබෙන්නේ.

එසේම මාර්තු මස අවසානයේ වසා දමන මෙරට මිට්සුබිෂි සමාගමේ කාර්යාලය මෙරට තොරතුරු කළමනාකරණය කරමින් ජපානයේ මවු සමාගම සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය පවත්වා ගෙන යාමට කටයුතු කළ බවත් ශ්‍රී ලංකාවේ විදුලි බලාගාරවල ඉදිකිරීම් ,ඉංජිනේරු සහ ප්‍රසම්පාදන කටයුතු භාරව ක්‍රියා කළ බවත් නිකෙයි ඒෂියා වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.

එසේම ශ්‍රී ලංකාවේ වානේ සහ රසායනික නිෂ්පාදන වෙළඳ අංශයේද මිට්සුබිෂි සමාගමේ මෙරට කාර්යාලය කටයුතු කළ බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

Join now