මෙරට ජපන් ව්‍යාපෘති යළිත් ඇරඹීමට සැරසේ..

Sri Lanka Japan Sri Lanka Relationship
By Sewvandhi Apr 16, 2023 02:50 PM GMT
Report

ලංකාව තුළ, ජපන් ආධාර යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට ඉතා උනන්දුවෙන් පසු වන බව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනය හෙවත් ජයිකා ආයතනයේ දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨ උප ප්‍රධානි ඉමොටෝ සචිකෝ මහත්මිය පවසන්නීය.

වොෂිංටයෙහිදී, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග පැවති හමුවකදි ඇය මේ බව සඳහන් කළ බව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා ජයිකා ආයතනයේ කැපවීම එහිදී ඉමොටෝ සචිකෝ මහත්මිය විසින් යළිත් වරක් අවධාරණය කර තිබේ.

මෙහිදී ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය කෙන්තාරෝ ඔගාටා මහතා ද හමුවී ඇති අතර එහිදී ශ්‍රී ලංකාවට සහයවීම සම්බන්ධයෙන් ජපානයේ ප්‍රමුඛතාව ඔහු යළිත් තහවුරු කර ඇති බව වාර්තා වනවා.

වොෂිංටන්හි පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ස්ප්‍රිං රැස්විම අතර තුර ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා එම සාකච්ඡා සඳහා සහභාගි වී තිබේ.

මීට අමතරව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, සිය සංචාරය අතර තුර ශ්‍රී ලංකාවට වැදගත් ද්වීපාර්ශවික සාකච්ඡා රැසකට සහභාගි වීමට හැකි වු බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරාගමන ක්‍රියාවලිය හා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට මෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ඇතුළු ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කරගැනීමට මෙහිදි සිදුකළ සාකච්ඡා පිටිවහලක් වනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now