මෙරට තරුණ තරුණියන්ට නොමිලේ ජපන් යන්න මෙන්න සුපිරි අවස්ථාවක්...

Dinesh Gunawardena Sri Lanka Japan Sri Lanka Relationship
By Aruna Feb 12, 2023 11:08 PM GMT
Report

මෙරට තරුණ තරුණියන්ට නොමිලේ ජපන් භාෂාව සහ ජපන් සංස්කෘතික අධ්‍යාපනය ලබාදීමේ අරමුණෙන් මත්සුරි (Mathsuri) ජපන් භාෂා කේන්ද්‍රය අවිස්සාවේල්ල සීතාවක දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජපාන තානාපති මිෂූකෝෂී හිඩෙකී (Mizukoshi Hideaki) විසින් විවෘත කරනු ලැබීය. මෙම මධ්‍යස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලා.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රශීලී සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකික තරුණ තරුණියන්ගේ ජපන් භාෂා දැනුම ශක්තිමත් වීමද හේතුවනු ඇතැයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා අදහස් පළ කරමින් කියා සිටියේය. ජපන් භාෂා පුහුණු කේන්ද්‍රය සිතාවක ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජපන් තානාපතිවරයාටත්, ආයතනය පිහිටුවීමට භාවිතයට නොගත් ගොඩනැගිල්ලක් ලබාදීම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යවරයාටත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා ස්තුතිය පළ කළේය.

භාවිතයට නොගත් රජයේ ගොඩනැගිලි ඵලදායී අරමුණු සඳහා යොදා ගැනීම සඳහා රජයේ ප්‍රතිපත්තිය යටතේ මෙම ගොඩනැගිල්ල මධ්‍යස්ථානයට ලබා දී ඇත.

තානාපති මිෂූකෝෂී හිඩෙකී (Mizukoshi Hideaki) කියා සිටියේ ජපන් භාෂාව ඉගෙනීමට ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර දැඩි උනන්දුවක් දැකීමට ඇති බවයි.

විදේශයන්හි ක්‍රියාත්මක වන බොහෝ ජපන් සමාගම් සහ ජපානයේ සමාගම් ශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයින් බඳවා ගන්නා බවත්, එම රැකියා සඳහා ජපන් භාෂා දැනුම පූර්ව අවශ්‍යතාවයක් බවත් ඔහු පැවසීය.

මෙමඟින් ජපන් භාෂා දැනුම ලබන සුදුසුකම් ලත් තරුණ තරුණියන්ට ජපානයේ රැකියා ලබාදෙන බව ජපාන තානාපතිවරයා හා මත්සුරි ජපන් භාෂා කේන්ද්‍රෙය් සම අධ්‍යක්ෂ හිරොයූකී ෂිමොටොරි( Hiroyuki Shimotori) මහතා මෙහිදී සහතික විය. ඉහළ ජපන් භාෂා ප්‍රවීණතාවයක් ඇති ජපන් සහ ශ්‍රී ලාංකික ගුරුවරුන් පන්ති පැවැත්වීම සඳහා මත්සූරී (Mathsuri) ආයතනය මගින් සම්බන්ධ කර ගන්නා හෙයින් ජපන් සමාගම්වල සහ ආයතනවල රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා හැකිවන අයුරින් ශ්‍රී ලාංකික සිසුන්ට ප්‍රායෝගිකව ජපන් භාෂාව උගන්වනු ඇති බවට ද තානාපතිවරයා විශ්වාසය පළ කළේය .

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, ජපාන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අධ්‍යාපනඥයින්, විදුහල්පතිවරුන්, සිසු සිසුවියන් ඇතුළු ආරාධිතයන්, ප්‍රදේශ වාසීන් රැසක් මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now