ජනපති සමග සාකච්ඡාවට ජවිපෙ එකඟවෙයි - ප්‍රචාරක ලේකම්ගෙන් ප්‍රකාශයක් ..!

Anura Kumara Dissanayaka Ranil Wickremesinghe Sri Lanka Janatha Vimukthi Peramuna
By Sewvandhi Aug 07, 2022 01:40 PM GMT
Report

සිදුකර ඇති ආරාධනයට අනුව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට සිය පක්ෂය තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේ, අනිද්දා පස්වරුවේ අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවය. එහෙත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීම සඳහා සිය පක්ෂය සහාය ලබානොදෙන බව විජිත හේරත් මන්ත්‍රීවරයා පවසයි.

සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහයෝගය ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා විවෘත ආරාධනයක් කරනු ලැබීය. ඒ අනුව මේ වන විටත් සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, පාර්ලිමේන්තුවේ ස්වාධීන වු පක්ෂ 10 කණ්ඩායම ඇතුළු කණ්ඩායම් කිහිපයක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වා තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග පැවැති සාකච්ඡාවලදී ඉදිරිපත් වු යෝජනා එම සාකච්ඡාවලට සහභාගී වු සියලු පක්ෂවලට හෙට (08) දිනයේ ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබුණි.

කෙසේවෙතත් සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වන බවට තමන් ප්‍රකාශ කර නොමැති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ, සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සඳහා සිය පක්ෂයේ යෝජනා 10ක් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවය.

අදාළ යෝජනා සැලකිල්ලට ගනිමින් අවම පොදු ජාතික වැඩපිළිවෙල දෙස විමසිලිමත්ව බලා සිටින අතර එය ක්‍රියාත්මක කිරිම පිණිස සැකසෙන සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහය දක්වන්නේ නම් ඒ පිළිබදව විවෘතව මහජනයා වෙත දැනුම් දෙන බව විමල් වීරවංශ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now