"..ෆාමසි වලින් බෙහෙත් ගන්න එපා.." මේ දිනවල පැතිර යන මාරාන්තික විය හැකි රෝගයක් ගැන විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka
By Sewvandhi Jan 11, 2023 11:40 AM GMT
Report

රටපුරා මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගය ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදයක් බැවින් ඒ සඳහා ෆාමසි වලින් හිතුමතේ ඖෂධ ලබා නොගෙන සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිජීවක ඖෂධ ලබාගන්නා ලෙස කොළඹ මහ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (11) පැවති මාධ්‍ය හමුවකදීයි. මේ දිනවල සීඝ්‍රයෙන් පැතිරයන උණ රෝගය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයට ලක්ව තිබුණා.

මෙම උණ රෝගය ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන්නා වූ ආසාදනයකින් හටගන්නා බව කියා සිටි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා මෙහි රෝග ලක්ෂණ වශයෙන් කැස්ස, උගුරේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව ආදිය හටගන්නා බවද සඳහන් කළා.

බොහෝ රෝගීන්ට වෛරසය සුව වීමෙන් පසුවද දීර්ඝකාලීනව කැස්සක් පවතින බවද, වෛරසය නිසා ශරීරයේ පෙනහලුවල යම් ප්‍රතික්‍රියාවක් ඇතිවන බවද, ශරීරය විසින් වෛරසය මර්දනය කිරීම සඳහා නිෂ්පාදනය කරන ප්‍රතිදේහ සහ ඒවා ක්‍රියාත්මක වීම හේතුවෙන් පෙනහලුවල ඇති නාල කුඩා වීමක් සිදුවන බවද වෛද්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා. 

 ගර්භණී කාන්තාවන්, වයස්ගත පුද්ගලයන්, වකුගඩු ආබාධවලින් පෙලෙන්නන්ට මෙම උණ රෝගය වැළඳුනහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අවශ්‍ය බවද, මෙවැනි පුද්ගලයින්ට මෙම රෝගී තත්ත්වය උග්‍ර වුවහොත් මරණය පවා ඇතිවිය හැකි බවද සඳහන්.

මෙම දිනවල ඩෙංගු සහ මී උණද ව්‍යාප්ත වන බව කියා සිටි විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා වැඩි දුරටත් කියා සිටියේ උණ රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now