පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් අල්ලයි..!
ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික සහල් තොගයක් සොයාගැනීමට සමත් විය.
වැල්ලම්පිටිය, සේදවත්ත ප‍්‍රදේශයේ ගබඩාවක සිදුකළ හදිසි පරීක්ෂාවකදී, එම ආනයනික සහල් මෙට්‍රික්ටොන් දහසකට අධික ප්‍රමාණයක් ගබඩා කර තිබී ඇත.
ඊයේ (28) රාත්‍රියේ ගොතටුව පරිපාලන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද තොරතුරක් මත වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ ගබඩාවක් හදිසි වැටලීමකට ලක්කෙරුණි.
වැටලීම සඳහා ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය ද එක්ව සිට බව වාර්තා වෙයි. ගබඩාව තුළ ඒ වනවිට සහල් මෙට්‍රික්ටොන් 1,080කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර තිබුණු අතර ඉන් විශාල ප්‍රමාණයක් භාවිතයට නුසුදුසු තත්ත්වයේ පැවැති බව අනාවරණය වී තිබෙනවා.
ආනයනික සහල් තොගය නිසි ලෙස ගබඩා කර නොතිබූ ආකාරය ද මෙහිදී දක්නට ලැබුණි. ඒ අනුව, ඊයේ රාත්‍රියේ මුද්‍රා තැබුණු ගබඩාවේ සීල් අද (29) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඉවත් කිරීමට පියවර ගත්තේ අධිකරණ නියෝගයකට අනුවය.
පසුව ඔවුන් සහල් සාම්පල ලබාගත් අතර ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නියමිතය. මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් අද හෙට්ටිපොල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී 50,000කට ආසන්න බිත්තර තොගයකට මුද්‍රාතැබුණි.
ඒ, බිත්තර සන්තකයේ තබාගෙන අලෙවි නොකිරීම සහ මිල ප්‍රදර්ශනය නොකිරීම හේතුවෙනි. ඒ සම්බන්ධයෙන් ලබන බදාදා හෙට්ටිපොල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද නියමිතය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |