ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සතුටුදායක ආරංචියක්...

By Aruna Jan 17, 2023 01:16 AM GMT
Report

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්ගේ සංචාරය අතරතුරදී මෙරට ආර්ථික අර්බුදය සඳහා සහය ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු වනු ඇතැයි සහ මෙරට ණය සම්බන්ධයෙන් “ධනාත්මක” ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ, බලශක්ති සුරක්ෂිතතාව, ආහාර සුරක්ෂිතතාව, මුදල් හුවමාරු විධිවිධාන මෙන් ම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා සිදුවෙමින් පවතින බව ය.

ඒ අනුව, ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ දෙදින නිල සංචාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යම් නිවේදන කිහිපයක් සිදු වනු ඇති බවට අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය වසරේ සහය දුන් ලෙස ම ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සඳහා ඉන්දියාව ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දෙනු ඇති බව ද අදාළ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා ණය සහ ණය පහසුකම් ඇතුළු ඩොලර් බිලියන 4ක පමණ ඒකාබද්ධ පැකේජයක් සහ ආසියානු නිෂ්කාෂණ සංගමය හරහා ණය ගෙවීම කල් දැමීම ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේදී බලාපොරොත්තු තබා ගත හැකි බව එම ආරංචි මාර්ග සඳහන් කර ඇත.

ඊට අමතරව, ත්‍රිකුණාමල සංවර්ධන ව්‍යාපෘතිය සහ නේපාලය, භූතානය සහ බංග්ලාදේශය වැනි අනෙකුත් රටවල් සමග බලශක්ති ජාලයක් සඳහා වන ඉන්දියාවේ සැලසුම් වෙත ශ්‍රී ලංකාවට ප්‍රවේශ වීමට ඉඩ සලසන හරස් සමුද්‍ර සන්ධි සම්ප්‍රේෂණ මාර්ගයක් සඳහා දිගුකාලීනව අපේක්ෂිත අවබෝධතා ගිවිසුම් දෙකක් පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now