ඉන්දීය වීසා ප්‍රධානීගේ පරිගණකයට සිදුවූ දේ

Sri Lanka Sri Lanka Police Investigation Sri Lanka visa
By Sewvandhi Feb 20, 2023 04:03 PM GMT
Report

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි වීසා මධ්‍යස්ථානයේ ප්‍රධාන දේශීය නියෝජිතවරිය ( country manager) රාජකාරි කටයුතු සඳහා පරිහරණය කරන ලැප්ටොප් පරිගණකය සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

මේ හේතුවෙන් වීසා කටයුතු ලබාදීම මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ සියලුම කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇතැයි පොලිසිය කියයි. පැමිණි සොරුන් එම පරිගණකය සමග ඩි. වි. ආර් යන්ත්‍ර සහ අන්තර්ජාල පහසුකම් ලබා ගන්නා (hub ) කොටසද රැගෙන ගොස් ඇතැයි පොලිස් නිලධාරියකු කීය.

ඉකුත් 15 දින අළුයම් කාලයේදී මෙම සොරකම වී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. කිරුළපන දෙස සිට ත්‍රිරෝද රථයකින් පැමිණෙන පුද්ගලයන් තිදෙනකු එම වීසා මධ්‍යස්ථානයේ ඉදිරිපස ගේට්ටු කඩා අනතුරුව මහල් හතරකින් යුක්ත ගොඩනැගිල්ලේ ඉදිරිපස දොර කඩා ඇතුළු වී තෙවන මහල කරා ගොස් මෙම සොරකම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.

තෙවන මහලේ ප්‍රධාන නියෝජිතවරිය ගේ කාර්යාලය පිහිටා ඇති අතර ඒ සමගම තවත් ලැප්ටොප් පරිගණක හතරක් , රුපියල් ලක්ෂ 30 ක මුදලක් මෙන්ම අයිෆෝනයක් තිබී ඇතත් පැමිණි පුද්ගලයන් ඒවා කිසිවක් රැගෙන ගොස් නැතැයි ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now