සද ජයගත් ඉන්දියාවෙන් ඉරටත් යානයක්

India
By Sewvandhi Aug 26, 2023 03:30 PM GMT
Report

තව සතියක කාලයකින් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, හිරු ගවේෂණයට රොබෝ යානයක් යැවීමට බලාපොරොත්තු වෙයි.

අදාල යානය නම් කර ඇත්තේ ‘ආධිත්‍යා’ Aditya-L1 යනුවෙනි.

සූර්ය සුළං ආදිය ගවේෂණය කිරීම මෙම ‘ආධිත්‍යා L1’යානයේ අරමුණය.

එනම්, සඳේ දක්ෂිණ ධ්‍රුවය ආසන්නයට ගොඩබැස්ස ලොව පළමු රට බවට පසුගිය 23දා ඉන්දියාව ඉතිහාසගත විය. ඉන් දිනකට පසු ඉන්දියාවේ සඳ රෝවර් යානය වික්‍රම්, මව් යානයෙන් චන්ද්‍ර පෘෂ්ඨය මතට බැස සිය පළමු පියවර තැබුවේය.

එදා ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය “ඉන්දියාව සඳ මත මුල්වරට ඇවිද ගිය” බව සාඩම්බරයෙන් ලොවට ප්‍රකාශ කළේය. මේ සමඟ, එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත මෘදු ගොඩබෑමක් සිදුකිරීමට සමත් වූ අලුත්ම සහ 4 වැනි රට බවට ඉන්දියාව පත්විය.

මෙම ඓතිහාසික අවස්ථාව රට පුරා මහත් ප්‍රීතියෙන් සැමරූ අතර "ඉන්දියාව දැන් සඳ මතට බැස සිටී, එසේම වෙනත් කිසිම රටකට ළං විය නොහැකි වූ තැනකට අපි ළඟා වී සිටිමු." යැයි අගමැති නරේන්ද්‍ර මෝදි උදම් ඇනුවේය.

ඉන්දියාව මේ ජය ලැබුවේ රුසියාව මගින් අභ්‍යවකාශ ගත කළ ලූනා 25 නවතම යානය සමඟ තරගයක යෙදෙමිනි. සඳේ දකුණු පැත්ත ආසන්නයට ගොඩබෑ මුල්ම රට වන්නට රුසියාවට අවශ්‍ය විය.

මේ නිසා රුසියාවේ Luna-25 අගෝස්තු 10 වැනි දින ගමන ඇරුඹූ අතර, තෝරාගෙන තිබුණේ සඳ වෙත වඩාත් ඍජු මාර්ගයකි. ඒ ඉක්මනින් ගොඩබෑමේ උත්සාහයක නිරත වීමට හැකි ලෙසටය. Luna-25 ගමන් ගත්තේ දකුණු සඳේ Boguslawsky ආවාටයට වඩාත් උතුරින් 72.9˚S/ 43.2˚E අතර පිහිටි ස්ථානයක් ඉලක්ක කරමිනි. අගෝස්තු 21දා Luna-25ට සඳට ළංව එය වටා කැරැකෙන්නට හැකිවිය.