අද උදෑසන රටටම සුබ ආරංචියක්..ජනපති ජාතිය අමතයි..

Ranil Wickremesinghe Sri Lanka IMF Sri Lanka
By Aruna Mar 21, 2023 12:53 AM GMT
Report

ශ්‍රී ලංකාව විසින් ලබා ගැනීමට අපේක්ෂිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය අද(21) උදෑසන ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ සඳහා අනුමැතිය හිමිවීමෙන් පසු පළමු වාරිකය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 300කට අධික මුදලක් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.

සම්පූර්ණ ණය මුදල වන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මුදල වසර හතරක් තුළ වාරික අටකින් ලැබීමට නියමිතව ඇත.

මෙම මුදල ශ්‍රී ලංකාවට ලබාදීමට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් වන සාකච්ඡා ඊයේ (20) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේදී සිදුවිය.

විධායක මණ්ඩලයේ තීරණය පිළිබඳ දැනුම් දීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර එම මාධ්‍ය හමුව එක්සත් ජනපද වේලාවෙන් ඊයේ පස්වරුවේ දල ශ්‍රී ලංකා වේලාවෙන් ඊට පසුදා එනම් අද උදෑසනද පවැත්වෙනු ඇත.

මෙම මාධ්‍ය හමුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි යන මහත්වරුන් එක්වෙන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා අද දිනයේ ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

*****

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. “ශ්‍රී ලංකාව නිදහස ලබා ගෙවී ගිය වසර 75ක කාලය තුළ රටේ ආර්ථිකයේ ඉදිරි ගමන පිළිබඳ මෙවන් තීරණාත්මක කාල පරිච්ඡේදයක් තිබී නැත.

අපගේ නිල ණයහිමියන් පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩ සහ ධනාත්මක ක්‍රියාකාරකම්වලින් පසුව ඔවුන්ගේ සහය ප්‍රකාශ කර ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අපගේ වැඩසටහන අනුමත කිරීම සම්බන්ධයෙන් අපි සතුටු වෙමු.

ආරම්භයේ සිටම, මූල්‍ය ආයතන සහ අපගේ ණය හිමියන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට අපි කැප වූයෙමු.

දූරදර්ශී මූල්‍ය කළමනාකරණය සහ සර්වශුභවාදී ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය තුළින් ආර්ථිකය දිගුකාලීනව යථා තත්ත්වයට පත් කිරීමට අප බලාපොරොත්තු වන මේ මොහොතේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට මගේ කෘතඥතාව පළ කරමි.

මා ජනාධිපති ධූරයේ වගකීම භාරගත් පසුගිය ජූලි මාසයේ සිට, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ තිරසාර ණය මට්ටමක් ළඟා කර ගැනීම මගේ ප්‍රමුඛතාවය විය.

ඒ සඳහා අපි දැඩි තීරණ කිහිපයක් ගත්තෙමු. නමුත් අපි එසේ කළේ අපගේ සමාජ ආරක්ෂණ ජාල පුළුල් කිරීමට, අවදානමට ලක්විය හැකි පාර්ශව ආරක්ෂා කිරීමට, දූෂණය මුලිනුපුටා දැමීමට සහ සියල්ල ඇතුළත් ජාත්‍යන්තර වශයෙන් ආකර්ශනීය ආර්ථිකයක් වර්ධනය කළ හැකි බව සහතික කිරීම සඳහා ඇති කැපවීම නිසාය.

අපේ රට සඳහා මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉතා වැදගත් අතර, එම වැඩසටහන සාර්ථකව නිම කිරීමට සහ ණය තිරසාරත්වය ළඟා කර ගැනීමට අපි කැපවී සිටිමු.

අපි අපගේ සියලුම ණය හිමියන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වී සිටින අතර, අපගේ ඉදිරි කටයුතුවල සන්දර්භය තුළ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සහ පෝෂණය කිරීමට අපගේ ද්විපාර්ශ්වික සහ වාණිජ ණයහිමියන් දිරිමත් කරන්නෙමු.

ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොල සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහන අත්‍යවශ්‍ය වනු ඇති අතර, ශ්‍රී ලංකාව නැවත වරක් ආයෝජකයින් සහ සංචාරකයින් සඳහා ආකර්ශනීය රටක් බව පෙන්නුම් කරනු ඇත.”


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.