භාණ්ඩ මිල ඉහළ යාම, බදු ඉහළ දැමීම හා IMF ණය ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී ඇති අමෙරිකානු ඩොලර් බිලියන දෙකයි දශම නවයක ණය මුදල මෙම වසර අවසානයේ අනුමත කරනු ඇතැයි අපේක්ෂා කරන බව මහබැංකු නිලධාරීන් මෙරට ණය හිමියන්ට දැනුම් දී තිබෙනවා. ඒ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන් සමග පැවති සාකච්ඡාවේදීයි. ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් මෙරට බාහිර ණය හිමියන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවති මෙම සාකච්ඡාවට මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් එක්ව තිබුණා.
එහිදී මහබැංකුව විසින් මෙරට කෙටි කාලීන හා දිගු කාලීන ආර්ථික සැලසුම් පැහැදිලි කර තිබෙනවා. මීට පෙර ගනු ලැබූ ඇතැම් ආර්ථික ප්රතිපත්තිවල අතපසුවීම් හා ලෝකය මුහුණදුන් කොවිඩ් වසංගත අවදානම හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදයට මුහුණදීමට ලංකාවට සිදුවූ බවයි මෙහිදී සඳහන් කර ඇත්තේ. එය බලශක්ති හා ආහාර අර්බුදයක් බවට පත්වෙමින් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කර ඇතැයිද සඳහන්. මෙරට විදෙස් සංචිත පහළ යාම හා උද්ධමනය ඉහළ යාම පවතින තත්ත්වය උග්රවීමට බලපා ඇතැයි ද එහිදී පෙන්වා දී තිබෙනවා.
කෙසේවෙතත් ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවත් මෙරට ආර්ථීකය සම්බන්ධයෙන් ගත් යහපත් පියවර පිළිබඳව ද එහිදි ණය හිමියන් දැනුවත් කෙරුණා. ඒ අනුව අන්තර්කාලීන ණය ප්‍රතිපත්තියක් හරහා ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමා ජනතාව ඉතුරුම් සඳහා යොමුකිරීම ගොවි ණය කපා හැරීම සීමිත ඉන්ධන සංචිත ක්‍රමානුකූලව බෙදා හැරීම මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම පාලනය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගත් බවයි මෙම සාකච්ඡාවේදී සඳහන් කර ඇත්තේ.
එමෙන්ම, 2023 අයවැය මගින් අපේක්ෂා කෙරෙන ආදායම් ඉහළ දැමීම හා වියදම් පාලනය පිළිබඳවත් අදහස් පළ කර තිබෙනවා. ඒ යටතේ,
පුද්ගලික ආදායම් බදු ඉහල දැමීම
ආයතනික බදු ඉහල දැමීම
VAT හා විදුලි සංදේශ බද්ද ඉහල දැමීම
බදු පදනම පුලුල් කර බදු විරාම ඉවත්කිරීම
බදු පරිපාලනය ශක්තිමත් කිරීම යන කරුණු කෙරෙහි සිහිකැඳවීමක් කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණිමට හැකිවුණේ මෙම ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ඇතුළු තීරණ හේතුවෙන් බවයි මහබැංකුව හා මුදල් අමාත්‍යංශය පෙන්වා දුන්නේ. අනතුරුව මෙරට ආර්ථික වර්ධන අපේක්ෂාවන් ද ආයෝජිකයින් හමුවේ පැහැදිලි කර තිබුණා. ඒ අනුව, මේ වසරේ 8.7ක් වන ආර්ථිකයේ හැකිලීම ලබන වසර වනවිට 3.0% දක්වා අඩුකර ගැනීමටත්, 2024 වනවිට 1.5%ක වර්ධන වේගයක් අත්පත් කර ගැනීමත් රජයේ අපේක්ෂාව වී තිබෙනවා. 48.2%ක්ව පවතින උද්ධමනය 2024 වසරේදී 6% දක්වා අඩුකර මහබැංකුව පවසන්නේ.
මෙරට ප්‍රධාන ණය හිමියන් පිළිබඳ එහිදී පෙන්වා දී ඇති අතර එහි මුල් තැන පසුවන්නේ චීනයයි. දෙවැනි සහ තෙවැනි ස්ථානවල පිළිවෙලින් ජපානය හා ඉන්දියාව රැඳී සිටිනවා. එම ලැයිස්තුවට අනුව අමෙරිකාව පසුවන්නේ දස වැනි ස්ථානයේයි. කෙසේවෙතත් මේ වනවිට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව හිමිව ඇති ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමටමේ වසරේ දෙසැම්බර් මස මැදභාගය වනවිට ලැබෙනු ඇතැයි ද රජය අපේක්ෂා කරනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම් 2023 වසරේ දෙවැනි කාර්තුවේදී අවසන් කිරීම ද රජයේ අපේක්ෂාව බවයි එහිදී දැනුම් දී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |