අයි.එම්.එෆ් සාකච්ඡා සාර්ථකයි - ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lankan political crisis IMF Sri Lanka
By Sewvandhi Jul 29, 2022 04:03 PM GMT
Report

රටේ පවතින ආර්ථික අසීරුතාව සමනය කර යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන සාකච්ඡා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතියක් අත්පත් කර ගැනීමට නම් ණය තිරසරභාවය පිළිබඳ විධිමත් සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව තිබුණු බවත් පසුගිය කාලයේ පැවති දේශපාලන අස්ථාවරත්වය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු නොකරන බවට වූ පසුගිය රජයේ දේශපාලන ප්‍රතිපත්තිය හේතුවෙන් එය අඩාල වූ බව ජනාධිපති කාර්යාලය කියයි.

මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පූර්ණ දේශපාලන ස්ථාවරත්වයක් සහිත රජයක් ස්ථාපනය කර සර්වපාක්ෂික ආණ්ඩුකරණයක් සඳහා වන දේශපාලන සාකච්ඡා ද ඉතා සාර්ථක මට්ටමක පවතින හෙයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්නා සාකච්ඡා සාර්ථකව අවසන් කර මූල්‍ය ස්ථායීතාව ඇතිකිරීම සඳහා අවශ්‍ය පළමු පියවර තැබිය හැකි බව ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now