ජනපතිට අපහාස කළොත් අත්අඩංගුවට ගැනීම් සිදු කළ හැකිද?

Law and Society Trust Sri Lanka
By Wayomi Jun 21, 2022 03:46 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

අද අපි මේ දවස් වල ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වන කරුණක් ගැනයි. ඒ, ජනාධිපතිවරයාට සමාජමාධ්‍ය හරහා අපහාස කළොත් අදාළ පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීමේ නීතිමය පසුබිම ගැනයි.

🔰 යම් පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුගෙන් අපහාසයක් සිදුවුවහොත් දීලික්ත්මය වගකීම සම්බන්ධව දිසා අධිකරණයේ සිවිල් නඩුවක් පවරා වන්දි ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

🔰 ජනාධිපතිවරයාට රටේ යම් පුරවැසියෙකුගේ ප්‍රකාශයකින් හෝ ෆේස්බුක් වැනි සමාජමාධ්‍යකින් බෙදා හරිනු ලබන පෝස්ට් එකක් මගින් යම් ආකරයකින් අපහාසයක් වූයේ යැයි සිතනවා නම් මෙම නීති තත්වය මගින් සහනයක් ලබා ගත හැකියි.

🔰 නමුත් එලෙස අපහාසයක් සිදු වූ බව ඔප්පු කිරීමේදී අදාල ප්‍රකාශය සැබෑ ලෙසටම අපහාසාත්මක බව පැමිණිලිකරු විසින් ඔප්පු කළ යුතු වෙනවා.  

අපහාසයක් ලෙස සැලකිය හැක්කේ කුමක්ද ?

🔰 "අපහාසය තුළ යම් පුද්ගලයෙකු පිළිබඳ සිදු කරන සාධාරණ පදනමකින් තොර හෝ සමාවකින් තොර හෝ අපහාසාත්මක ප්‍රකාශයක් අන්තර්ගත වන බවයි"

🔰 මේ අතර අපහාසය අදාල පුද්ගලයාට හානි කිරීමේ චේතනාවෙන් යුතුව කළ බවද පැමිණිල්ල ඔප්පු කළ යුතුයි.

🔰 ඒ අනුව සිවිල් නීතිය යටතේ අපහාස නඩුවක් ගොනු කොට අපහාසයක් සිදු වූ බව ඔප්පු කිරීම හා වන්දි ලබා ගැනීම සිතනා තරම් පහසු එකක් නෙවෙයි. අපහාස කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය - ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 19 වන පරිච්ඡේදයේ 479 සිට 482 අ. දක්වා වගන්තිවල "කීර්ති හානි කිරීම" යටතේ යම් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකට අපහාස කිරීම අපරාධමය වරදක් ලෙස දක්වා තිබෙනවා.

🔰 නමුත් මෙම සාපරාධී අපහාස නීතිය ඇතුලත් පරිච්ඡේදයම සම්පූර්ණයෙන්ම 2002 අංක 12 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතින් ඉවත් කරන ලදි.

🔰 එම නිසා මේ වන විට පුද්ගලයෙකුට අපහාස කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ අපරාධ නඩු පැවරීමට කිසිදු බලයක් නොමැත.

🔰 යම් පිරිසකගේ තර්කයක් වන්නේ 2021 අංක 05 දරණ සංශෝධන පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියට පෙර පැවති "මහරැජින" යන වචනය වෙනුවට "ජනාධිපතිවරයා" යන වචනය ආදේශ කළ නිසාවෙන්ම එම වගන්තිය යටතේ ජනාධිපතිවරයාට කරනු ලබන අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධව නඩු පැවරිය හැකි බවයි.

🔰 120.කථා කරනු ලැබූ හෝ කියවීමට අදහස්කරනු ලැබූ වචනයෙන් හෝ සංඥාවලින් හෝ දැකිය හැකි නිරූපණවලින් ජනාධිපතිවරයා කෙරෙහි හෝ ජනරජයේ ආණඩුව කෙරෙහි විරුද්ධත්වය දැක්වීමේ හැඟීම් අවුස්සතොත් හෝ ඇවිස්සීමට තැත් කළතොත් හෝ ,

* නීතිය ක්‍රියාවෙහි යෙදවීමෙහි දී වෛරයක් හෝ අගෞරවයක් ඇති කරවතොත් හෝ ඇති කරවීමට තැත් කරතොත් හෝ නීත්‍යානුකූල මාර්ගවලින් නොව අන් ලෙසකින් නීතියෙන් පිහිටුවනු ලැබූ යමක් වෙනස් කරවීමට ශ්‍රී ලංකාවේ ජනතාව උනන්දු කළතොත් හෝ,

* ශ්‍රී ලංකාවේ ජනතාව අතට අසන්තෝෂය හෝ විරුද්ධත්වය ඇති කරවීමට හෝ එබඳු ජනතාවගේ වෙනස් පංති අතර සතුරු වූද,අසමගි වූ ද හැඟීම් වැඩි දියුණු කිරීමට තැත් කරතොත් ඔහුට අවුරුදු දෙක දක්වා කාලයක ලිහිල් බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතුයි.

🔰 ඉහත සදහන් කරන ලද ඉවත් කරන ලද දණ්ඩ නීති සංග්‍රහයේ පරිච්ඡේදය හැර ශ්‍රී ලංකාවේ කිසිදු අපරාධ නීතියට අදාල වන පනතක යම් පුද්ගලයෙකුට අපහාසාත්මක ප්‍රකාශ කිරීම නිසා අත් අඩංගුවට ගැනීමට හෝ අපරාධ නඩු පැවරීමට වගකීමක් සංස්ථාපනය වන ප්‍රතිපාදනයක් නොමැත.

🔰 ඒ නිසා "ජනාධිපතිවරයාට අපහාස වන අයුරින් සමාජමාධ්‍යක හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධව පොලීසියට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවට" ප්‍රචාරය වන කයි කතන්දර අපරාධ නීතිය පිළිබඳ ඉතාම අසත්‍ය හා මිනිසුන් නොමගයවන සුළු ප්‍රකාශයක්. 

- නීතීඥ සාරංග වාදසිංහ -  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW