ක්‍රිකට් වාර්තා පොත් අලුත් කළ IPL ඉතිහාසයේ සුපිරි තරඟය මෙන්න..

Royal Challengers Bangalore Sunrisers Hyderabad IPL 2024
By Aruna Apr 16, 2024 03:39 AM GMT
Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වාර්තා පොත් අලුත් කර උණුසුම් තරගයක් ඊයේ (15) රාත්‍රියේ පැවැත් වුණා.

මේ අනුව, සන්රයිසස් හයිද්‍රබාද් සහ රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම් අතර පැවති මෙම තරගය තියුණු සටනකින් පසු හයිද්‍රබාද් කණ්ඩායම ජය ගත්තේ අයි.පී.එල් තරග ඉතිහාසය අලුත් කරමින්.

බැංගලූරු කණ්ඩායම පරාජය කරමින් හයිද්‍රබාද් කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ලකුණු 25කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රබාද් පිළ අයි.පි.එල්. තරග ඉතිහාසයේ තරගයක දී කණ්ඩායමක් රැස්කළ ඉහලම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නට සමත් වීම විශේෂත්වයක්.

මෙවර තරගාවලිය තුළ අසාර්ථකම පන්දු බලඇණිය සිටින බැංගලූරු පිළට ඇත දිගහැර ප්‍රහාරක් දියත් කළ හයිද්‍රබාද් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 287ක් රැස් කළේ පන්දු යවන්නන් සහ රකින්නන් නරඹන්නන් බවට පත් කරමින්.

එහිදී ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් ලකුණු 102ක් සහ හෙන්රිච් ක්ලාසන් ලකුණු 67ක් රැස්කරමින් හයිද්‍රබාද් ඉනිම ඉහළට ඔසවා තබන්නට වුණා.

මෙම තරගයේ දී හයිද්‍රබාද් කණ්ඩායම හයේ පහර 22ක් එල්ල කළ අතර, එය අයි.පි.එල්. තරගයක ඉනිමක දී එල්ලකළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාවට ද උරුමකම් කියන්නට වුණා.

පන්දු යැවීමේ දී ලොකී ෆර්ගසන් හයිද්‍රබාද් ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමීමට සමත් වුණා.

අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹු බැංගලූරු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 262ක් පමණයි.

බැංගලූරු පිළ ජයග්‍රහණය කරා රැගෙන යෑමට උත්සාහ කළ නායක ෆාෆ් ඩු ප්ලෙසිස් ලකුණු 62ක් සහ දිනේෂ් කාර්තික් වේගවත් ලකුණු 83ක් රැස් කරන්නට විය.

කෙසේ වෙතත් මෙම තරගය ලකුණු 25කින් ජය ගන්නට හයිද්‍රබාද් කණ්ඩායමට හැකියාව ලැබුණේ ඉතිහාස ගත වාර්තාවක් තබමින්.