බටහිර වෛද්‍ය විද්‍යාව තුළ ඖෂධයක් අලුතෙන් බිහි වන හැටි.

World Health Organization Ministry of Health Sri Lanka
By Wayomi Aug 05, 2022 05:51 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ලෙඩට දුකට බෙහෙත් බිවුවට බෙහෙත් හැදෙන ක්‍රමවේදය ගැන දන්නේ නැහැ නේද? හැබැයි මේ කියන්නේ ආයුර්වේදය ගැන නම් නෙවෙයි. බටහිර වෛද්‍ය විද්‍යාව තුළ ඖෂධයක් අලුතෙන් නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. හැම ඖෂධයක්ම මේ විදිහට නිර්මාණය නොවෙන්න පුළුවන්. නමුත් ඇතැම් අලුත් ඖෂධ බිහි කරන්නේ මෙහෙමයි.

පළමු පියවර

🧪 අදාල රෝගයට අනුව, විද්‍යාගාර තුළ විවිධ පරිගණක වැඩසටහන් වලත් ආධාරයෙන් ගැළපෙන ඖෂධීය සංයෝගයක් නිර්මාණය කිරීම.

🧪 මේ සඳහා රෝගය පිළිබඳවත්, එය අපේ ශරීරයට බලපාන ආකාරය පිළිබඳවත් ඉතා ගැඹුරින් අධ්‍යනය කෙරෙනවා.

🧪 මෙහිදී නිපදවන ඖෂධය මගින් රෝගය මැඩ පවත්වන ආකාරයත්, ඒ ඖෂධය නිසා ඇති විය හැකි යැයි සැක කරන අතුරු ආබාධ පිළිබඳවත් පුරෝකථනය කෙරෙනවා.

🧪 සියළුම න්‍යායාත්මක ගොඩනැගීම් වලින් පසු, සංයෝගය නිශ්පාදනය කරලා එය පූර්ව සායනික පර්යේෂණ සඳහා යොමු කරනවා.

🧪 එහි පළමු පියවරේදී පරීක්ෂණාගාරය තුළ පටක කොටස් භාවිතා කරමින් ඖෂධයේ ක්‍රියාකාරිත්වය අත්හදා බලනවා.

🧪මේ පියවරත් ඇතුළුව ඉදිරියට එන ඕනෑම පීයවරකදී, ඖෂධය නිසි පරිදි ක්‍රියා නොකළොත් හෝ, අතුරු ආබාධ ඉතා වැඩි නම් හෝ වෙනත් එවැනි ගැටළුවක් තියෙනවා නම්, පර්යේෂණයට එතැනින් ඉදිරියට යෑමට ඉඩ ලැබෙන්නේ නෑ. ආපහු මුල් පියවර වල සිට ගොඩ නගා ගෙන එන්න සිදු වෙනවා.


දෙවන පියවර

🧪 කෙසේ නමුත් ඖෂධයක් හෝ රෝගයක් පර්යේෂණාගාරයේදී ක්‍රියා කරන ආකාරය එය ජීවී දේහයක් තුළ ක්‍රියා කරන ආකාරයට වඩා වෙනස්.

🧪 ඒ නිසා දෙවන පියවරේදී සතුන්ට ඒ ඖෂධය ලබා දෙමින් ඔවුන්ගේ දේහ තුළ එහි ක්‍රියාකාරිත්වය සහ අතුරු ආබාධ පිළිබඳව අධ්‍යනය කරනවා.

🧪 අනෙක් සතුන්ගේ දේහ අභ්‍යන්තර තත්වයන්, මිනිසුන්ට සර්වසම නැහැ. (මේ අවහිරතාවය අවම කරවා ගන්න මිනිසුන්ට වඩාත් ජෛවීයව සමාන සතුන් භාවිතා කෙරෙනවා.)

🧪 ඖෂධය මිනිසුන්ට ලබා දෙන්නට එක වරම බැහැ.

🧪 මුලින් ඖෂධ පාලන අධිකාරියට ඖෂධය හා එහි සංයුතිය පිළිබඳ සියලු විස්තර ලබා දිය යුතුයි.

🧪 එහි සිටින විද්‍යාඥයන් ඒ පිළිබඳව පර්යේෂණ කරලා, ‘මෙය මිනිසුන්ට දීලා බලන්න සුදුසුයි, විශාල අතුරු ආබාධ නැහැ’ කියලා අනුමැතිය දෙන තාක් කල් කිසිම සායනික පර්යේෂණයක් කරන්න අවසරයක් නැහැ.


තුන්වන පියවර

💊 මේ සායනික පර්යේෂණ අවධියයි.

💊 වඩාත්ම සංකීර්ණ සහ වැදගත්ම පියවර ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

💊 මෙහිදී නව ඖෂධය අදාල රෝගීන්ට ලබා දෙනවා. හැබැ‍යි මෙය පහසු කටයුත්තක් නෙවෙයි.

💊 අගතිගාමිත්වයන් මගහරවා ගන්නට හෝ අවම කරවා ගන්නට අපි පියවර ගත යුතුයි. (සායනික පර්යේෂණ අදියර කිහිපයකින් සිදු වන්නේ. මුල් අදියර වලදී රෝගී නොවන පුද්ගලයන්ටත් මේ ඖෂධය දීලා එහි අතුරු ආබාධ ආදිය සොයා බලනවා.)

💊 ("එකක් තමයි, පර්යේෂණයට සහභාගී වන රෝගීන්ගේ සංඛ්‍යාව. අපි දෙතුන් දෙනෙකුට ඖෂධය ලබා දුන්නා, ඒ හැමෝටම හරි ගියා, ඒ නිසා ඖෂධය සාර්ථකයි කීම වැරදීයී. මොකද අපි දන්නේ නෑ ඔවුන්ට ස්වභාවිකවම රෝගය සුව වුණාද කියලා. ඒ නිසා සාම්පලයේ සංඛ්‍යාව හැකි තාක් වැඩි වන තරමට පර්යේෂණයේ වලංගු භාවය වැඩියී. අපි රෝගීන් දහසකට ඖෂධය ලබා දුන් විට එයින් 950කට පමණ රෝගය සුව වෙනවා නම්, අන්න එතැන පෙරට වඩා වැඩි වලංගුතාවයක් තියෙනවා. ඒ අනුව ඖෂධයේ සාර්ථකත්වය 95%ක් පමණ බව අපිට කියන්න පුළුවන්.")

💊 හැබැයි මතක තියා ගන්න මේ රෝගීන් සියළු දෙනා එකම කුලකයකට අයත් වෙනවා නම්, ඒ ප්‍රතිඵල අනුව අපි සමස්ත ජනතාවට ඖෂධය පිළිබඳ පුරෝකථනය කිරීම සුදුසු නැහැ. (උදාහරණ: සෞඛ්‍ය සම්පන්න හමුදා නිලධාරීන් යොදා ගෙන කළ සායනික පර්යේෂණයක් සමාජයේ සියල්ලන්ටම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වේ යැයි සිතීම.)

💊 ඒ නිසා විවිධ වයස් මට්ටම් වලට, විවිධ ප්‍රදේශ වලට හා විවිධ සමාජ මට්ටම් වලට අයත් වෙනස් පුද්ගලයන් රැසක් අහඹු ලෙස යොදා ගැනීම වැදගත්.


සායනික පර්යේෂණයෙන් පසු,

💊 "රෝගියාගේ ප්‍රගතිය මැනීම සඳහා ඒ පිළිබඳව රෝගියාගෙන් විමසීම, ඇතැම් විට අගතිගාමී වෙන්න පුළුවන්. මේ නිසා ඒ සඳහා රුධිර පරීක්ෂණ, විවිධ සංඝටක වල සංයුතීන්, ස්කෑන් පරීක්ෂණ වගේ, රෝගියාගේ මානසික තත්වය මත බලපෑමක් ඇති නොවන (හෝ අවම බලපෑමක් වන ) පරාමිතීන් යොදාගන්න පුළුවන්. නමුත් හැම රෝගයකටම, හැම අවස්ථාවකම මේ විදිහේ පරාමිතීන් භාවිතා කර්න්න බෑ. ඒ නිසා ඇතැම් විට අපිට රෝගියාගෙන් 'දැන් කොහොමද ඇඟට?' කියන දේ අහන්නම වෙනවා."

💊 මෙහිදී single blind සහ double blind ලෙස ක්‍රම දෙකක් යොදාගන්නවා . ( ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනකදී වෙනම ලිපියක් බලාපොරොත්තු වන්න)


අවසානයේ,

💊 කෙසේ වෙත්ත, අවසානයේ මේ සියළුම සායනික පර්යේෂණ වලින් ඖෂධය සමත් වුණොත් එය නැවතත් මෙ විස්තර සමග ඖෂධ පාලනාධිකාරියට ඉදිරිපත් කරලා අනුමැතිය ලබා ගත යුතු වෙනවා.

💊 එහි අනුමැතිය ලැබුණු පසු තමයි ඖෂධය වානිජමය මට්ටමින් නිෂ්පාදනය කර බෙදා හරින්නේ.

💊 හැබැයි ඖෂධය ජනතාව අතරට ගිය පසුවත්, පර්යේෂකයන්ට සිදු වෙනවා කාලයක් යන තුරුම එහි ක්‍රියාකාරිත්වය හා අතුරු ආබාධ ගැන සමාජයෙන් අහඹු ලෙස ගත් නියැදි වලින් පරීක්ෂා කරලා බලන්න.

💊 ඒ අවස්ථාවේදී කුමක් හෝ ගැටළුවක් මතු වුණොත්, වහාම ඖෂධය නිෂ්පාදනය සහ වෙළඳාම නවත්වා දමනවා.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW