HIV අවධානමක් සහිත ලංකාවේ වයස් කාණ්ඩයක් ගැන අනතුරු ඇඟවීමක්..

Sri Lanka HIV Symptoms
By Aruna Sep 12, 2022 01:55 AM GMT
Report

එච්.අයි.වී. වයිරසය ආසාදනය වන තරුණ දරුවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව එච්.අයි.වී. (ඒඩ්ස්) මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි සඳහන් කළාය.

අනාරක්ෂිත ලිංගිකව හැසිරීම හේතුවෙන් අවුරුදු 18–19 වයස් කාණ්ඩවල දරුවන් මෙසේ එච්.අයි.වී. ආසාදිතයන් බවට පත්වෙමින් තිබෙන බවද ඇය පැවසුවාය.

මෙසේ අඩු වයස් දරුවන් 4 දෙනෙකු ජූලි මාසයේදී හඳුනාගත් අතර අගෝස්තු මාසයේ දී එම සංඛ්‍යාව 5ක් වූ බවත් ඇය පෙන්වා දෙයි.

මේ අනුව එච්.අයි.වී. ආසාදිතයන් දිනෙන් දින ඉහළ යමින් පවතින බවත් මෙය ඉතා භයානක තත්ත්වයක් බවත් ඇය අවධාරණය කළාය.

අනාරක්ෂිත ලිංගික කටයුතුවල යෙදෙන පුද්ගලයන් වහාම එච්.අයි.වී. පරික්ෂාවන්ට යොමුවන්නැයිද මේ වන විට රට පුරා පවතින එච්.අයි.වී. ඒඩ්ස් සායන 42ටම අවශ්‍ය “ටෙස්ට් කිඩ්” ලැබෙමින් පවතින බවද අධ්‍යක්ෂවරිය පැවසුවාය.

එච්.අයි.වී. වයිරසය ආසාදනය වූ පසුව ඉක්මනින්ම එය හඳුනාගතහොත් ඒඩ්ස් තත්ත්වයට යාම මුළුමනින්ම මගහරයා ගත හැකි බවත් එවැනි වයිරස් ආසාදිතයෙකුට සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කර දරුවන් හැදීමේ හැකියාවක්ද තිබෙන බව වෛද්‍ය රසාංජලී පෙන්වා දෙයි.

මේ වන විටත් එච්.අයි.වී. ආසාදිත පුද්ගලයන් 2300ක් දෙනා ඖෂධ ප්‍රතිකාර සඳහා යොමු වී අද වන විට සාමාන්‍ය පවුල් ජීවිත ගත කරමින් දරුවන් පවා ලැබී සතුටින් සිටින බවද ඇය සඳහන් කළාය.

ඔබ යම් හෙයකින් අනාරක්ෂිත ලිංගික ඇසුරකට යොමු වුවහොත් වහාම ලිංගාශ්‍රිත සායනයකට පැමිණ එච්.අයි.වී. සඳහා වන පරික්ෂාවට යොමු වන්නැයිද අධ්‍යක්ෂවරිය ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now