හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග...

Sri Lanka Politician Hirunika Premachandra Prison
By Sithumini Jul 22, 2024 04:36 AM GMT
Report

බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

සිර දඬුවම්වලට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇපෑලක් ඉදිරිපත්කර ඇති බැවින් ඇයව ඇප මත මුදාහරින ලෙස ඇයගේ නීතිඥවරු විසින් කළ ඇප ඉල්ලීමකට අනුව මෙම තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණා.  

මෙම තීන්දුව ලබා දුන්නේ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින්. මීට දින කිහිපයකට පෙර ඇය බන්ධනාගාර ගත කෙරුණේ සිර දඩුවම් සහිතවයි.

එහිදී 2015 වසරේ දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නැමති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා 18කට ඇය වරදකාරිය කෙරුණා.

ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් හා රුපියල් තුන් ලක්ෂ හැටදහසක දඩයක්ද නියම කළා.