දැනුවත්වෙමු..! නවතම සමීක්ෂණයකින් මෙරට වයස අවුරුදු 18 ඉක්මවූ පිරිස ගැන එළියට ආ භයානක හෙළිදරව්ව..!

By Sewvandhi Jun 17, 2023 03:22 PM GMT
Sewvandhi

Sewvandhi

in රචනා
Report

නවතම සමීක්ෂණයකින් මෙරට වයස අවුරුදු 18 ඉක්මවූ ජනගහනයෙන් සියයට 25ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව අනාවරණ වී තිබෙනවා.

නිහඬ මාරයෙකු ලෙස ක්‍රියාකරන මෙම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව ඇත්තේ ඉතා අඩු අවධානයක්. අධි රුධිර පීඩනය ගැන නිසියාකාරව දැනගනිමු...

අප සෑම පුද්ගලයකුගේම සිරුර පුරා රුධිරය ගමන් කරන්නේ හෘදය වස්තුව මගින් ඇතිකරන පීඩනයට අනුවය. එම පීඩනය රුධිර පීඩන අගය ලෙස පවසයි. මෙම පීඩනය නීරෝගී පුද්ගලයකු තුළ පැවැතිය යුත්තේ 120/80 යන අගයකිනි.

එනම් හෘදය වස්තුව සංකෝචනය වනවිට තිබිය යුතු පීඩනය 120කි. එය ඉහිල් වනවිට තිබිය යුතු අගය 80කි. මෙම අගයට වඩා වැඩි අගයක් පැවතියහොත් එය රුධිර පීඩන අගය ඉහළ යෑමක් හෙවත් අධිරුධිර පීඩන තත්ත්වයක් ලෙස හඳුන්වයි.

රුධිර පීඩන අගය ඉහළ යෑමට බලපාන හේතු

රුධිර පීඩනය ඉහළ යෑම සඳහා බලපාන හේතු රැසක් ඇත. උණ පවතින අවස්ථාවකදී රුධිර පීඩනය ඉහළ යයි. මානසික ආතතියෙන් පෙළෙනවිටදී, අධික ලෙස වෙහෙසට පත්වූ විටදී ද රුධිර පීඩනය ඉහළ යයි. මෙසේ ඉහළ යන රුධිර පීඩනය එම තත්ත්වයන් ඉවත්වූ පසු සාමාන්‍ය තත්ත්වයට පත්වේ.

මීට අමතරව දියවැඩියාව, කොලෙස්ටරෝල් අධික බව, වකුගඩු රෝග, තරබාරුව, හෝමෝන අසමතුලිතතා ආදී රෝග නිසා ද රුධිර පීඩනය ඉහළ යයි. මෙලෙස ඇතිවන රුධිර පීඩනය ඉහළ යෑම එම රෝග පාලනය කරගැනීම අනුව යළි සාමාන්‍ය මට්ටමට පත්කරගත හැකිය.

ඇතැම් පුද්ගලයන්ට මෙවැනි කිසිදු හේතුවක් නැතිව රුධිර පීඩනය ඉහළ යෑමක් දැකිය හැකියි. ඒ සඳහා බලපා ඇත්තේ ඔවුන්ගේ ජානමය තත්ත්වයක් විය හැකිය. පවුලේ සාමාජිකයකුට අධිරුධිර පීඩනය ඇත්නම් බොහෝදුරට එවැනි පවුල්හි සාමාජිකයනට අධිරුධිර පීඩනය ඇතිවීමට ඇති ඉඩකඩ වැඩියි.

මෙවැනි පුද්ගලයන්ට මතුව ඇති අධිරුධිර පීඩනය පාලනය සඳහා ඖෂධ ප්‍රතිකාර ලබාදිය යුතුවේ. වයසට යනවිට ද රුධිර පීඩන අගයේ සුලුවෙනස්වීමක් පැවතිය හැකිය. එවිට මැදිවියේ පුද්ගලයන්ගේ රුධිර පීඩන අගය 140/90 ලෙස පැවතිය හැකියි. එය ඖෂධ ප්‍රතිකාර ලබාගෙන පාලනය කළ යුතු තත්ත්වයක් නොවේ. මෙය වයසත් සමග මතුවන තත්ත්වයකි.

කෙසේ වෙතත් එවැනි පුද්ගලයන් වෛi පරීක්‍ෂාවකට යොමු වී උපදෙස් ලබාගැනීම කළ යුතුය. වයස අවුරුදු 30ට පමණ අඩු තරුණ වයසේදී යම් පුද්ගලයකුට අධිරුධිර පීඩන තත්ත්වයක් මතුව ඇත්නම් ඒ සම්බන්ධව වැඩි අවධානයක් යොමුකළ යුතුය.

ඊට හේතුව පරීක්‍ෂාකර බලා ප්‍රතිකාර ලබාගැනීමට විශේෂඥ වෛදවරයකුගේ උපදෙස් ලබාගත යුතුය. මෙලෙස අධිරුධිර පීඩනය මතුව ඇත්තේ වකුගඩු රෝග නිසා, හෝමෝන අසමතුලිත තාවයක් නිසා විය හැකිය. ඒනිසා මේ සඳහා බලපා ඇති හේතු හඳුනාගෙන මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර කළ යුතුය.

අධිරුධිර පීඩනය පාලනය

අධි රුධිර පීඩනය පාලනයකින් තොරව දිගු කාලයක් පැවැතීම මගින් සිරුරේ බොහෝ ඉන්ද්‍රියනට හානිසිදුවිය හැකිය. විශේෂයෙන්ම මොළයේ රුධිර නාළ පුපුරා යෑමට ලක්වීමෙන් අංශභාගය ඇතිවිය හැකිය. හෘදයාබාධ ඇතිවිය හැකිය. වකුගඩු දුර්වල විය හැකිය.

එබැවින් වෛද්‍යය පරීක්‍ෂාවකදී තම රුධිර පීඩන අගය ඉහළ ගොස් ඇති බව හඳුනාගතහොත් නිසි වෛද්‍යය උපදෙස් අනුව එය පාලනය කර ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය.

මෙහිදී වෛද්‍යයවරය නියම කරන රුධිර පීඩනය පාලනය සඳහා ගනු ලබන ඖෂධ නියමිත පරිදි ගතයුතුය. රුධිර පීඩනය ඉහළ යෑම සඳහා බලපා ඇති රෝග පාලනයට ද නිසිලෙස ප්‍රතිකාර ලබාගත යුතුය.

එවිට එම රෝග පාලනය මගින් අධිරුධිර පීඩනය ද ඉතා ඉක්මනින් පාලනය කරගත හැකිය. දුම්පානය, මත්පැන් පානය, අධිරුධිර පීඩනය තවත් ඉහළ දැමීමට හේතුකාර වේ. එබැවින් අධිරුධිර පීඩනය ඇති පුද්ගලයන් මේවා භාවිතය සම්පූර්ණයෙන්ම අත්හිටුවිය යුතුය.

ලුණු අධික ආහාර, තෙල් අධික ආහාර ගැනීම මගින් ද රුධිර පීඩනය වැඩි කරයි. එබැවින් එවැනි ආහාර ගැනීම සීමාකළ යුතුය. අධිරුධිර පීඩනය ඇති පුද්ගලයන් වෛද්‍යය උපදෙස් අනුව තම ආහාර රටාව, ජීවන රටාව සකස් කරගත යුතුය.

ව්‍යායාමවල යෙදීම, තරබාරුව පාලනය කර ගැනීම ආදී නීරෝගී සෞඛ්‍යයට උපකාරීවන කටයුතුවල දිනපතා යෙදිය යුතුය. ගැබිනි සමයේදී ඇතැම් කාන්තාවනට රුධිර පීඩනය ඉහළ යෑමක් සිදුවේ.

එය දරු ප්‍රසූතියෙන් පසු යළි සාමාන්‍ය තත්ත්වයට පත්වේ. නමුත් තවත් පිරිසකට එසේ ඉහළ ගිය රුධිර පීඩන අගය දිගට ම පවතී. ඒ සඳහා බලපා ඇති හේතු හඳුනාගෙන නිසි වෛද්‍යය උපදෙස් මත ප්‍රතිකාර ලබාගෙන අධිරුධිර පීඩන අගය පාලනය කරගැනීමට පියවර ගත යුතුය.