වකුගඩු සහ අවයව බද්ධ කිරීමේදී භයානක තත්ත්වයක්..

Sri Lanka Ministry of Health Sri Lanka
By Aruna Feb 26, 2023 03:24 AM GMT
Report

වකුගඩු සහ අවයව බද්ධ කිරීමේදී සිදුකරනු ලබන ගැලපීම් සහ සැසඳුම් පරීක්ෂණ කටයුතු මේ වන විට අකර්මණ්‍ය වී ඇති බව රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, වකුගඩු, අක්මා ඇතුළු අවයව බද්ධ කරනු ලබන රෝගීන්ගේ ජාන හඳුනා ගැනීම්, ගැලපීම් සහ සැසඳුම් පරීක්ෂණ සිදුකිරීමේදී භාවිත කරනු ලබන රසායනික ද්‍රව්‍යවල පවතින විශාල හිඟය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

මේ හේතුවෙන් එම පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබන්නේ ඉතා සීමිත ලෙස බව වාර්තා වේ.

මසකට වකුගඩු හා අවයව බද්ධ කිරීම් සිදුකරනු ලබන රෝගීන්ගේ සාම්පල් 200ත් 250ත් අතර ප්‍රමාණයක් රජයේ රෝහල්වලින් රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත එවනු ලබයි.

රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සඳහන් කළේ, එම සාම්පල්වලට අදාළ ජාන හඳුනාගැනීම්, ගැලපීම් සහ සැසඳුම් පරීක්ෂණ සිදුකිරීමේදී එක් සාම්පල පරීක්ෂාවකට රුපියල් 175,000ක මුදලක් වැයවන බවයි.

සාම්පල් පරීක්ෂා කර අදාළ රෝහල් වෙත වාර්තාවක් නිකුත් කිරීම රුධිර පාරවිලයන මධ්‍යස්ථානය විසින් සිදුකරනු ලබන අතර මේ වන විට අත්‍යවශ්‍ය සහ අනිවාර්යයෙන් බද්ධ කිරීමක් සිදුකරනු ලබන සහතික කළ රෝගීන්ගේ සාම්පල් පමණක් සීමා සහිතව පරීක්ෂා කරන බව රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.

පරීක්ෂණ සඳහා භාවිත කරනු ලබන රසායනික ද්‍රව්‍ය හිඟය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවද රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ රසායනික ද්‍රව්‍යවලට අදාළව මිලියන 600ක පමණ හිඟ මුදලක් සැපයුම්කරුට ගෙවීමට ද ඇති බවට වාර්තා වෙයි.

මේ හේතුවෙන් අදාළ සැපයුම්කරු හිඟ මුදල ගෙවන තෙක් සැපයුම් ලබා නොදෙන බව ප්‍රකාශ කර ඇත.

මෙම රසායනික ද්‍රව්‍ය ආනයනය කරනු ලබන්නේ එක් සැපයුම්කරුවෙකු පමණක් බැවින් අදාළ රසායන ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සඳහන් කළා.

එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ, පවතින රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් ඉදිරියේදී වකුගඩු සහ අවයව බද්ධ කිරීමේදී සිදුකරනු ලබන ගැලපීම් හා සැසඳුම් පරීක්ෂණ නතර කිරීමට සිදුවනු ඇති බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now