IMF සදහා සහය දීමට සූදනම් බව හර්ශද සිල්වා කියයි

Harsha de Silva
By Sithumi Jan 27, 2023 01:56 PM GMT
Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අපක්ෂපාතිව පෙනී සිටිමින් සිය උපරිම සහය ලබා දීම, රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අරමුණ බව එම කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා අවධාරණය කළා.  

2023 පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිය පළමු වාරිකය ලබා දෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූ මහබැංකු නිලධාරීන් පෙන්වා දුන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුගත වීම සඳහා සිදුකළ යුතු සමාජ ප්‍රතිසංස්කරණ සහ ඒවායේ බලපෑම පිළිබදව ද මෙහිදී කමිටුවේ අවධානය යොමුවුණා.  

සමාජයේ අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ට සිදුවන සමාජ බලපෑම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරතුරුව සැලකිල්ලෙන් පසුවන බවත් එම බලපෑම් අවම කිරීම සඳහා රජයේ වියදම් හැකිතාක් සීමා කිරීම වැනි ඇතැම් ආරක්ෂණ ක්‍රම අනුගමනය කර ඇති බවත් මහබැංකුවේ නිලධාරීහු මෙහිදී පෙන්වා දී තිබෙනවා. පොලී අනුපාත වැඩි කිරීම තුළ වෙළඳපල හැකිලීමේ අහිතකර බලපෑම් පිළිබඳව ද කාරක සභාව විමසන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අරමුදල් පහසුකම (Extended Fund Facility) ලැබීම හරහා පොලී අනුපාත නැවත වරක් ලිහිල් කළ හැකි බවත්, වෙළඳපොළ පුළුල් වීම සදහා නැවතත් අවස්ථාව හිමිවනු ඇති බවත් ඔවුහු පෙන්වා දුන්නා.  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සදහා පළමුව මැදිහත්වීමෙන් තොරව, වෙනත් කිසිදු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ආයතනයක් ශ්‍රී ලංකාව සමඟ ණය කළමනාකරණය සම්බන්ධයෙන් හවුල් වීමට අකමැති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහා පවතින විකල්ප අවස්ථා පිළිබද කාරක සභාව විමසා සිටි අවස්ථාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ.

   ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමඟින් ණය කළමනාකරණය ඇතුළු අනාගත ව්‍යාපාර අවස්ථා සඳහා නැවත වරක් මෙරට සමඟ හවුල් වීමට ජාත්‍යන්තරයට විශ්වසනීයත්වයක් ඇතිවන බවද ඔවුහු පෙන්වා දුන්හ. මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය බව මහ බැංකු නිලධාරීහු පෙන්වා දී තිබෙනවා.