රාජ්‍යය සේවකයන් ගැන ජනපති ගත් අලුත්ම තීරණය..!

Ranil Wickremesinghe Government Employee Sri Lanka
By Sewvandhi Feb 23, 2023 07:54 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. එනම්, රාජ්‍ය සේවකයින් විසින් රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිතා කරනු ලබන අවස්ථාවලදී සියලුම නිලධාරීන් පිරිමැසුම් පන්තියේ (Economy Class) ගුවන් ටිකට්පත් පමණක් මිලදී ගත යුතු බවයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, අභියාචනාධිකරණයේ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු හැර අනිකුත් සියලුම රජයේ නිලධාරීන්ට මෙම තීරණය අදාළ වන බවය.

අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්, සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත මීට අදාළව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් යුත් චක්‍රලේඛයක් 2023 පෙබරවාරි 22 දිනැතිව යොමු කර තිබේ.

යම් නිලධාරියෙකුට ව්‍යාපාරික පංතියේ (Business Class) ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම්, පිරිමැසුම් පංතියේ ගුවන් ටිකට්පතක් මිලදී ගැනීමට යන මුදල සහ ව්‍යාපාරික පංතියේ ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමට යන මුදල අතර වෙනස සිය පෞද්ගලික මුදලින් වැයකර ව්‍යාපාරික පංතියේ ගමන් කිරීමට හැකියාව ඇති බවද එහි සඳහන්.

මෙම චක්‍රලේඛයේ සඳහන් ආකාරයට යම් නිලධාරියෙකුට ඉහත විධිවිධානවලට පරිබාහිරව සුවිශේෂි හේතුවක් මත රජයේ අරමුදල් භාවිතා කර ව්‍යාපාරික පංතියේ ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඒ පිළිබඳ ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර ජනාධිපති ලේකම්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතුය.

අදාළ චක්‍රලේඛයෙහි සඳහන් විධිවිධාන 2023 මාර්තු 01 වන දින සිට බලාත්මක වන අතර, ඒ අනුව මෙම කරුණට අදාළව මීට පෙර නිකුත් කර ඇති චක්‍රලේඛ හෝ උපදෙස් ලිපිවල සඳහන් විධිවිධාන එදින සිට බලරහිත වේ.

වර්තමානයේ රටේ පවතින ආර්ථික හා මූල්‍ය දුෂ්කරතා මත රජයේ අරමුදල් අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා පමණක් ඉතා අරපිරිමැස්මෙන් යුතුව වැය කිරීමට ගෙන ඇති පියවර අනුව ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now