තවත් රජයේ පත්වීම් ලබාදීමක් ගැන සුබ ආරංචියක්.

Lakshman Yapa Abeywardena Government Employee Job Opportunity Teachers
By Wayomi Jun 09, 2024 12:13 PM GMT
Report

දකුණට ගුරු පත්වීම් 3230 ක් ලබා දුන් බවත් පත්වීම් දෙන්න බැරිවුණු අයටත් ඉදිරි මාසයක් තුළ පත්වීම් ලබාදෙන බවත් දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, මාතර දිස්ත්‍රික්කයේ උපාධිධාරී ගුරු පත්වීම් ලබාදීමේ වැලිගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයට සහභාගි වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙවැන්නක්,

"රාජ්‍ය සේවය පුළුල් වෙලා ගිහින්. 1600000 ක් රාජ්‍ය සේවකයන් ඉන්න මේ රටේ අද හැම පුරවැසියන් 17 දෙනකුට එක් රාජ්‍ය සේවකයෙක් බිහිකරපු මේ රටේ අද රාජ්‍ය සේවය රජයේ භාණ්ඩාගාරයට බරක් වෙලා තියෙනවා. මොන තරම් රටේ ප්‍රශ්න අර්බුද තිබුණත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් නැවැත්තුවේ නැතිව දිගටම වැටුප් ගෙව්වා."

"උපාධිධාරීන් හැටියට අද ගුරු පත්වීම් ලබන ඔබ හරිම වාසනාවන්තයි. ඔබ ඉගෙන ගත්ත විෂයට අදාළව පාසල් ගිහින් වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. මේ රටේ බොහෝ උපාධිධාරීන්ට තමන් ඉගෙනගත් දේ නෙවෙයි රාජ්‍ය සේවයට ගිහින් කරන්න ලැබෙන්නේ. ඒ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ හැටි. නමුත් අද ගුරුපත්වීම් ලබන ඔබට තමන් ඉගෙනගත්ත විෂයට අදාළවයි පත්වීම් ලැබෙන්නේ. පැවැත්වූ විභාගයේදී 8094 දෙනෙක් විභාගය සමත් වුණා. එයින් 3230 කටයි පත්වීම් ලබාදෙන්නේ. සමහර අය ඉල්ලන විෂයට පත්වීම් දෙන්න බැහැ. පත්වීම් ලබාදෙන්න බැරිවුණ අයටත් ඉදිරි මාසයක් තුළදී පත්වීම් දෙන්න අපි කටයුතු කරනවා. ඔබ ඇවිත් ඉන්නේ හොඳම සේවයටයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අධ්‍යාපන ඇමැතිවරයාව සිටි කාලයේදී තමයි අධ්‍යාපනය පරිපාලන සේවයට ඇතුළත් කළේ. ඒ අනුව තරග විභාගයක් තියල ගුරුවරු බඳවා ගත්තා."

"අපි මහා භාණ්ඩාගාරයෙන් මුදල් අරගෙන නොවෙයි මේ පත්වීම් දෙන්නේ. දකුණු පළාත තුළම මුදල් කළමනාකරණය කරගෙනයි පත්වීම් දෙන්නේ. ගුණාත්මක භාවයෙන් යුතු දරුවකු බිහිකිරීමයි අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී දමිළ ක්‍රීඩා ගුරුවරු ඒ ඒ පළාත්වලින් බඳවා ගැනීමට අපි කටයුතු කරනවා. මේ ආකාරයට පත්වීම් දුන්නම දකුණු පළාතේ ගුරු හිඟයක් ඇතිවෙන්නේ නැහැ. යහපත් දරුවකු බිහිකිරීමට කටයුතු කරන්න."