ජාතිවාදී සහ ආගම්වාදී ක්‍රියාකාරකම් ගැන රජයෙන් දැඩි ප්‍රකාශයක්
මුස්ලිම් ජනතාව ඉලක්ක කරගනිමින් සංවිධානාත්මකව ක්‍රියාත්මක වන කණ්ඩායමක් පිළිබඳ මෙතෙක් සිදුකළ විමර්ශනවලින් තොරතුරු අනාවරණය වී නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසනවා.
අද (09) පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
කෙසේ වෙතත්, ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් හරහා විවිධ ජාතීන්ට අයත් පුද්ගලයන් ඉලක්ක කරගනිමින් වෛරී ප්‍රකාශ සිදුකිරීම නිරීක්ෂණය වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සයිබර් අපරාධ විමර්ශන ඒකක මඟින් පරීක්ෂණ සිදුකරන බවත් ඔහු පැවසුවා.
සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාදීමට සතියක කාලයක් අවශ්‍ය බව ද ප්‍රකාශ කළා.
“කොහොම වුණත්, ඔබතුමා ඉදිරිපත් කළා වගේම අපි බලයට පත්වූ දා සිටම අපි උත්සාහ කරමින් ඉන්නවා මෙවැනි ජාතිවාදී ක්‍රියාකාරකම්, ආගම්වාදී ක්‍රියාකාරකම් සහ ඒවාට අදාළ කුමන්ත්‍රණ පරාජය කරමින් මේ රටේ ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කරන්න.
කොහොම වුණත්, ඔබතුමත් දන්නවා මේ රටේ අතීත දේශපාලන සංස්කෘතිය වෙලා තිබුණේ තමන්ගේ බලය පවත්වා ගැනීම සඳහා එකම උපායමාර්ගය වෙලා තිබුණේ මේ ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා බලය ලබා ගැනීම සහ බලය පවත්වා ගැනීමයි.
එවැනි ක්‍රියාකාරකම්වල නෂ්ටාවශේෂ නැවත නැවත ඉස්මතු වන අවස්ථා පසුගිය වසර දෙකක කාලය පුරාවටම නිරීක්ෂණය වුණා. නමුත් ඒ කිසිදු අවස්ථාවකට අපි ඉඩකඩ දුන්නේ නැහැ. අනාගතයේත් නැවත නැවතත් තහවුරු කරනවා, මේ ජාතිවාදී, ආගම්වාදී කුමන්ත්‍රණවලට කිසිසේත්ම මේ රාජය ඉඩකඩ දෙන්නේ නැහැයි කියන එක.”