හිටපු ජනපති ගෝඨාභය ගැන සිංගප්පූරුවෙන් අලුත්ම ආරංචියක්.!!

Gotabaya Rajapaksa Sri Lanka Politician Sri Lanka Singapore
By Aruna Jul 27, 2022 06:35 AM GMT
Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ රැඳී සිටින කාලය තවත් සති දෙකකින් දීර්ග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව සිංගප්පූරුවේ ස්ට්‍රෙට් ටයිම්ස් පුවත්පත් වාර්තා කරනවා.

ස්ට්‍රෙට් ටයිම්ස් පුවත්පත කියා සිටින්නේ, මීට සති දෙකකට පෙර පුද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, සිංගප්පූරුව වෙත පැමිණීමේ දී ලබාගෙන තිබුණු කෙටිකාලීන සංචාරක බලපත්‍රය දින 14කින් දීර්ඝ කිරීමට අපේක්ෂා කරන බව තම පුවත්පතට වාර්තා වූ බවයි.

එසේ ම වැඩි දුරටත් එම පුවත්පත කියා සිටින්නේ, ඊයේ(26) ශ්‍රී ලංකාවේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් හිටපු ජනාධිපතිවරයා නැවත තම නිවෙසට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව මාධ්‍ය වෙත දැනුම් දුන් බවයි.

තව ද, අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ ඉහළ පෙලේ රජයේ නිලධාරියෙක් ස්ට්‍රෙට් ටයිම්ස් පුවත්පත වෙත ප්‍රකාශයක් දෙමින් කියා ඇත්තේ, හැකි ඉක්මනින් ම හිටපු ජනාධිපතිවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, එසේ පැමිණ ඔහු අගනුවර ආසන්නයේ පිහිටි ඔහුගේ පුද්ගලික නිවසේ නැවතත් ජීවත් වීමට උනන්දුවෙන් පසුවන බවයි.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රී ලංකාවේ මතු වූ විරෝධය හේතුවෙන් ඔහු හොර රහසේ පසුගිය ජූලි 13 වැනි දා මාලදිවයිනට පලා ගොස්, අනතුරුව, 14 වැනි දා මාලදිවයිනේ සිට සෞදි ගුවන් යානයකින් සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපල වෙත පැමිණි අතර හිටපු ජනාධිපතිවරයා මෙතෙක් කාලයක් සිංගප්පූරුවේ ජීවත් වන බව එම පුවත්පත වාර්තා කරනවා.

එසේ ම හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවට පැමිණි මුල් දින කිහිපයේ නාගරික හෝටලයක නවාතැන්ගෙන සිටි බවත් අනතුරුව පුද්ගලික නිවෙසකට ගොස් ජීවත් වන බවත්, කෙසේ නමුත් ඔහු ප්‍රසිද්ධියට නොපැමිණෙමින් එම නිවසේ වාසය කරන බවත් එම පුවත්පතට වාර්තා වූ බව පවසනවා.

කෙසේ නමුත් අදාළ පුවත්පත වැඩිදුරටත් සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයා ජුලි 14 වෙනි දා සිංගප්පූරුවට පැමිණීමෙන් අනතුරුව, ඔහුට පෞද්ගලික සංචාරයක් සඳහා රටට ඇතුළු වීමට අවසර දී ඇති බවත්, නමුත් ඔහු විසින් කිසි ලෙසකින්වත් සරණාගතභාවයක් ඉල්ලුම් නො කළ බවත් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙකු ස්ට්‍රෙට් ටයිම්ස් පුවත්පතට කියා සිටි බවයි.

එසේ ම සිංගප්පූරුව සාමාන්‍යයෙන් සරණාගත ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව ද අදාළ ප්‍රකාශකයා විසින් එම පුවත්පතට සඳහන් කර තිබෙනවා.

කෙසේ නමුත් පසුගිය බදාදා (20) සිංගප්පූරු ආගමන හා මුරපොල අධිකාරිය (ICA) විසින් මාධ්‍යට ප්‍රකාශ කර තිබුණේ, සංචාර සඳහා සිංගප්පූරුවට ඇතුළු වන ශ්‍රී ලංකාවේ අමුත්තන්ට සාමාන්‍යයෙන් 30ක් දක්වා කාලයකට සීමා වූ කෙටි කාලීන සංචාර බලපත්‍රයක් නිකුත් කිරීම එරට ආගමන හා මුරපොල අධිකාරිය කටයුතු කරන බවයි.

එසේ ම සිංගප්පූරුවේ රැඳී සිටීමට අවශ්‍ය අයට, ඔවුන්ගේ සංචාර බලපත්‍රය දීර්ඝ කිරීම සඳහා මාර්ගගතව අයදුම් කළ හැකි බවත්, එම අයදුම්පත් තක්සේරු කරනු ලැබීමෙන් අනතුරුව, ඒ පිළිබඳව සලකා බැලීමට සිංගප්පූරු ආගමන හා මුරපොල අධිකාරිය විසින් කටයුතු කරන බවත් එම අධිකාරිය විසින් මාධ්‍යට දැන් වූ බව අදාළ පුවත්පත වැඩි දුරටත් වාර්තා කරනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව මතු වූ විරෝධය නිසාවෙන් ඔහුට තම ධුරයෙන් ඉල්ලා අස් වීමට සිදු වූ අතර හිස් වූ ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමකින් අනතුරුව ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට තෝරා පත් කර ගැනුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now