හිටපු ජනපති ගෝඨාභය කාමර අඩස්සියේ? විදෙස් මාධ්‍ය වලින් වාර්තාවක්

Gotabaya Rajapaksa Sri Lanka Thailand
By Sewvandhi Aug 12, 2022 03:13 PM GMT
Report

අරගලය ජන නැගිටීම හමුවේ රටින් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බැංකොක් නුවර මධ්‍යයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටින අතර ආරක්ෂක හේතූන් මත එම හෝටලයෙන් බැහැරව නොයන ලෙස එරට පොලිසිය ඔහුට උපදෙස් දී ඇති බව බැංකොක් පෝස්ට් පුවත් පත වාර්ථා කරනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඒ එන් 32 යානාවකින් රටින් පලාගොස් මාසයකට ආසන්න කාලයක් සිංගප්පූරුවේ කාලය ගත කළ හිටපු ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා (11) රාත්‍රී 8 ට පමණ Don Mueang ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් තායිලන්ත‍යට පැමිණියා. බැංකොක් පෝස්ට් පුවත් පත වාර්ථා කරන ආකාරයට හිටපු ජනාධිපතිවරයාගේ ඇතුළු පිරිස් තායිලන්තයේ ෆුකෙට් ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළ වෙත ගොඩ බැසීමට සැලසුම් කර තිබුණ ද අවසන් මොහොතේ දී යානය බැංකොක් වෙත හරවා යවා තිබෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට ගොඩ බැසීමෙන් පසු තායිලන්ත පොලිසිය සහ හමුදා නිලධාරීන් විසින් ඔහු කැටුව යන ලද අතර මේ වන විට ඔහු රැඳී සිටින ස්ථානය හෙළි නො කළ හෝටලයේ ආරක්‍ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු විශේෂ බලකා පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා තායිලන්තයේ රැඳී සිටින සම්පූර්ණ කාල සීමාව තුළ මෙම විශේෂ ආරක්ෂාව සපයා ඇති හෝටලය තුළ ම රැඳී සිටින ලෙසයි තායිලන්ත ආරක්ෂක බලධාරීන් උපදෙස් දී ඇත්තේ.

තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා බදාදා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා ට මානුෂීය හේතූන් මත තායිලන්තයට ඇතුළු වීමට අවසර දෙන නමුත් ඔහු ට එරට තුළ දිගුකාලීනව රැඳී සිටීමට උපදෙස් නො දෙන බවයි. මේ අතර තායිලන්ත විදේශ අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සතුව රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ඇති බැවින් ඔහුට දින 90 ක් දක්වා එහි රැඳී සිටිය හැකි බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය මස 13 වැනිදා ශ්‍රී ලංකාව හැර යාමෙන් පසු මෙතෙක් කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ පෙනී සිටීමක් හෝ අදහස් දැක්වීමක් සිදු කර නැහැ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ රැඳී සිටි කාලසීමාවේ දී ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායමක් සිංගප්පූරුවෙන් නිල වශයෙන් ඉල්ලා සිටියේ 2009 දී අවසන් වූ එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහි සිවිල් යුද්ධයේ දී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඔහු ට චෝදනා එල්ල කරන ලෙසයි.

ඊට අමතරව දකුණු අප්‍රිකාව පදනම් කරගත් ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය ද ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විශ්ව අධිකරණ බලය ක්‍රියාත්මක කරන ලෙස සිංගප්පූරුවෙන් ඉල්ලා සිටි බව වාර්තා වුණා. කෙසේ වෙතත් මෙම ජාත්‍යන්තර බලපෑම මේ දක්වා තායිලන්ත රජයටත් සිදුකර ඇත් දැයි මෙතෙක් තහවුරු කළ හැකි කිසිදු වාර්තාවක් පළ වී නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW