ගාලු මුවදොර මෙහෙයුමෙන් 14 ක් රෝහලේ, 9 ක් අත්අඩංගුවට - ගෝල්ෆේස් නවතම තත්වය

Sri Lanka Galle Face Green Protest Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 22, 2022 08:04 AM GMT
Report

අරගලකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දේපළවලට සිදු කර ඇති හානිය පිළිබඳ මේ වනවිට ස්ථානිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

පොලිස් අපරාධ පරික්ෂණ නිළධාරින් සහ ස්ථානීය පරික්ෂණ නිළධාරින් විසින් එම කටයුතු සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව කියා සිටියේ. 

 මීට අදාළව ඇඟිලි සළකුණු වාර්තා ලබාගනිමින් විද්‍යාත්මක සාක්ෂි ලබාගැනීමටද පියවර ගෙන තිබෙනවා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (22) අලුයම සිදුකළ මෙහෙයුමේදී ජනාධිපති කාර්යාලය සහ එහි ප්‍රධාන දොරටුව ඇතුලු අවට පරිශ්‍රයේ රැඳී සිටි විරෝධතාකරුවන් ඉවත් කරනු ලැබුවා. එහි දී විරෝධතාකරුවන් පාලනය කිරීමට යාමේදී උණුසුම් තත්වයක් හටගත්තා.

එම අවස්ථාවේදී සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඔවුන් කැළණිය, ඇඹිලිපිටිය, ජාඇළ, රත්නපුරය, වැල්ලම්පිටිය, වාද්දුව, නුගේගොඩ යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 26 සහ 58 අතර වයස්වල පසුවන්නන්. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම සිද්ධියෙන් තුවාල ලැබු 14 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊට කාන්තාවක් සහ මාධ්‍යවේදීන් දෙදෙනෙකුද ඇතුළත්. මේ අතර මෙම සිද්ධිය වාර්තාකරමින් සිටි තම මාධ්‍යවේදීන්ටද ආරක්ෂක අංශ විසින් පහරදී ඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කළා.

සිද්ධිය වීඩියෝ ගත කරමින් සිටි මාධ්‍යවේදියෙකුට පහර දී හමුදා සෙබළෙකු ඔහුගේ දුරකථනය පැහැරගෙන දර්ශන මකා දැමූ බවයි ඔවුන් වැඩිදුරටත් වාර්තා කළේ. එසේ ම තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු පහරදීම්වලට ලක්ව ඇති බව අදාළ වාර්තාවේ සඳහන්.

මේ අතර සිද්ධිය නිරීක්ෂණය කිරීමට පැමිණෙමින් සිටි නීතීඥවරුන් පිරිසකටද ආරක්ෂක අංශ විසින් බාධා කර පහරදී ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ප්‍රකාශ කළා. තවත් නීතීඥවරුන් පිරිසක් අද පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානය වෙත පැමිණ එහි සිටි ආරක්ෂක අංශ වෙතින් ප්‍රශ්න කළා.

මේ අතර විරෝධතාකරුවන්ගෙන් මුදාගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ වර්තමාන තත්වය නිරීක්ෂණය සඳහා අද පෙරවරුවේ මාධ්‍යවේදින්ටද අවස්ථාව සළසා දී තිබුණා. එසේම මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ද අදාළ ස්ථානය පරීක්ෂාවට ලක් කළ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ. කෙසේ වෙතත් මේ වනවිට ගාලු මුවදොර මාර්ගය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් වසා දමා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now