නැවෙන් ආ 4ක් ගාල්ලේදී අත්අඩංගුවට ගත්තේ ඇයි..?

By Sithumi Apr 10, 2023 05:16 PM GMT
Report

 කොළඹ වරායේ නැංගූරම් ලා තිබූ නෞකාවක සැඟවී රටින් පළායාමට උත්සාහ ගත් සිව්දෙනෙකු ගාල්ල වරාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උතුරු පළාතේ පදිංචිකරුවන් සිව්දෙනෙක්. එම පිරිස අතර වයස අවුරුදු 25, 31 සහ 32 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙකු සිටින බවයි පොලීසිය පවසන්නේ. මාර්තු මාසයේ 24 වනදා සැකකරුවන් පිරිස කොළඹ වරායේ නැංගූරම් ලා තිබූ නෞකාවකට ගොඩ වී එහි සැඟවී තිබෙනවා.

අනතුරුව නෞකාව යාත්‍රා කිරීම ආරම්භ කර ඇති අතර සූවස් ඇල ආසන්නයේදී නෞකාවේ කපිතාන්වරයාට මෙම සැකකරුවන් නිරීක්ෂණය වී තිබෙනවා. පසුව එම නෞකාවේ කපිතාන්වරයා ඒ පිළිබඳව අදාළ නැව් සමාගමට දැනුම්දී මෙම සැකකරුවන් නැවත ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පොලීසිය පවසන්නේ මෙරටට පැමිණෙන වෙනත් නෞකාවක සැකකරුවන් පිරිස නංවා ඒවා ඇති අතර අදාළ නෞකාව විසින් සැකකරුවන් සිව්දෙනා ගාල්ල වරාය පොලීසිය වෙත භාරදී ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර ගාල්ල වරාය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකළා.